එජාප ‘කෙටි න්‍යාය’ පත්‍රයට බොදු බල සේනාවත්

බොදු බල සේනා සංවිධානයේ විවෘත ආරාධනයට ඇතුළත් කරුණු පිළිබඳව ප්‍රතිචාරය පළ කිරීමට බලාපොරොත්තු වෙන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමින් කියා සිටියේ, බොදු බල සේනා ඉදිරිපත් කරන කරුණු පළමුවෙන් සලකා බැලිය යුතුව ඇති බවයි.

‘අපි උත්සාහ කරන්නේ හැම දෙනාම එකට එකතු කර ගත් දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට. ඊ ළඟ මැතිවරණය මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් විය හැකියි. එය කුමක් වුනත් සියලු බලවේග එකම වේදිකාවකට ගෙනැවිත් රට වෙනුවෙන් එක පදනමක් ඇති කර ගත යුතුව තිබෙනවා’ මහ ලේකම්වරයා පවසයි.

එවැනි තත්වයක් යටතේ බොදු බල සේනා අදහස් කෙරෙහි ඉතා දැඩි අවධානය යොමු කොට ප්‍රතිචාරය පළ කරන බවයි ඔහු කියා සිටියේ.

විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය ඇතුළු වෙනත් පොදු කාරනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ‘ කෙටි න්‍යාය පත්‍රයක්’ යෝජනා කර ඇතැයි සඳහන් කරන එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක වැඩි දුරටත් ප්‍රකාශ කළේ බොදු බල සේනා සංවිධානය ඇතුළු වෙනත් සංවිධානවල අදහස් ද සැලකිල්ලට ගනිමින් පොදු න්‍යාය පත්‍රයක් කරා අවතීර්ණ විය යුතුව ඇති බවයි.

වතිකන් සංචාරය

එක්සත් ජාතික පක්ෂයේ ඉහල මට්ටමේ නායකයකු සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග ජනාධිපතිවරයා සමඟ වතිකාන් සංචාරයේ නිරත වීම සම්බන්ධයෙන් විමසූ විට මහ ලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ, ආගමික සංචාරයක් සඳහා ඉල්ලීමක් කර තිබුණ බවක් තමාට දැන ගන්නට ඇති නමුත් ඉන් වැඩි දෙයක් කිව නොහැකි බවයි.

එහෙත් එම සංචාරය සඳහා ආරාධනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක ඊට හවුල් නොවන බව තමාට දැනුම් දුන් බවයි, එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර