සබරගමු සරසවි නේවාසිකාගාරය 'ප්‍රමිතියෙන් තොරයි'

Image copyright iusfl
Image caption අමාත්‍යවරයා පොලිසිය ලවා තමාට ජල ප්‍රහාරයක් එල්ල කළ බවට සිසුහු චෝදනා කරති

උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක විවෘත කළ ශිෂ්‍ය කාන්තා නේවාසිකාගාරය නිසි ප්‍රමිතියකින් තොර බැවින් ශිෂ්‍යාවන්ගේ ජීවිත අවදානමක පවතින බවට සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුව චෝදනා කරයි.

‘නේවාසිකාගාරයට යන ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් නේවාසිකාගාරය තුළ නැහැ. එතකොට ඉංජිනේරුවන්ගේ උපදෙස් අනුව ඒ ගොඩනැගිලිවල ආරක්ෂාවට අදාළ වැඩපිළිවෙළක්වත් සකස් කරලා නැහැ’ යනුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු රසිඳු ජයසිංහ සංදේශයට ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා විවෘත කළ අටසීයකට නවාතැන් පහසුකම් ඇති නව නේවාසිකාගාරයට යෑම ප්‍රතික්ෂේප කළ ශිෂ්‍යාවෝ, ශිෂ්‍ය පිරිමි නේවාසිකාගාරයට ගොස් එහි කොටසක පදිංචි වීමෙන් අනතුරුව සබරගමුව සරසවිය දින නියමයකින් තොරව වසා දැමීමට සිදු වූ බව උපකුලපති මහාචාර්ය චන්දන පී උඩවත්ත පැවසුවේය.

පරණ බඩු

‘මට සිද්ධ වුනා විශ්වවිද්‍යාලයේ විනය ආරක්ෂා කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දාන්න' යනුවෙන් ඔහු කියා සිටියේය.

අලුතින් ඉදි කළ නේවාසිකාගාරය නවීන පහසුකම් වලින් සමන්විත බව උපකුලපතිවරයා පැවසුවත් එය එසේ නොවන බව ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු රසිඳු ජයසිංහ කියා සිටි බව අජිත් ලාල් ශාන්ත සංදේශයට පැවසුවේය.

‘විභාග කාල සීමාව තුළ රැඳී සිටි නේවාසිකාගාර සියල්ල නිවාඩු කාලය තුළදී විශ්වවිද්‍යාල පරිපාලනය විසින් හිස් කරලා. පරණ නේවාසිකාගාරයේ තිබුණු ඇදන් සහ බඩුබාහිරාදිය සියල්ල නව නේවාසිකාගාරය තුළ සවි කරලා. එතකොට අද දිනේ ශිෂ්‍යාවන් නැවත පැමිණියාට පස්සේ පෙර නේවාසිකාගාරවලට ඇතුළු විය නොහැකි තත්වයක් තමයි ඇති වුනේ.’ යනුවෙන් ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු වැඩි දුරටත් පැවසුවේය.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක නේවාසිකාගාරය විවෘත කිරීම සඳහා එම ස්ථානයට පැමිණි අවස්ථාවේ සිසුහු අමාත්‍යවරයා හමු වී සාකච්ඡාක් අවශ්‍ය යැයි ඉල්ලා සිටි විට අමාත්‍යවරයා ඔවුන්ට බැන වැදී පොලිසිය ලවා ජල ප්‍රහාරයක් එල්ල කළ බවටත් සිසුහු චෝදනා කරති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර