ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පාප්තුමා සජින් වාස් මුණ නොගැසීම: 'ජනපති කෝපයෙන්'

සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට වතිකානයෙදී පාප් වහන්සේ මුණගැසීමට අවස්තාව නොලැබීම පිළිබඳව කෝපයට පත් ජනාධිපති මහින්ද රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම පිළිගැනීමට තීරණය කළ බව ජනමාධ්‍ය වාර්තා කරයි.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සහ නෝනිස් පවුල අතර පවතින සමීප සම්බන්ධතාවය හේතුවෙන් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මුණ ගැසීමට අවස්ථාවක් නොලැබුනැයි ජනාධිපතිවරයා විශ්වාස කරන බවයි සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසන්නේ.

කෙසේ නමුත් කාදිනල්තුමා විමසූ අවස්ථාවේ සිදුවූ දේ පැහැදිලි කිරීම හැරුණු කොට දොස්තර නෝනිස් වතිකානයේ තීරණය සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කොට නැති බව ස්වාධීන මාර්ගවලින් බීබීසී සංදේශයට අනාවරණය විය.

සන්ඩේ ටයිම්ස් වාර්තා කරන ආකාරයට දොස්තර නෝනිස් සහ වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා අතර උණුසුම් දෙබසක් ඇති වී තිබෙන්නේ නිවුයෝක් නුවර සිටින ශ්‍රී ලංකා එයාර්ලයින්ස් ආයතනයේ නියෝජිත දිලාන් ආරියවංශ ගේ නිවසේදී.

'කනට පහරක්'

එහිදී විදේශ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න පිළිබඳව නොමනා අන්දමින් කතා කළේ මන්දැයි මන්ත්‍රීවරයා විමසූ අවස්ථාවේ "මගේ කටට වචන දාන්න හදන්න එපා," යනුවෙන් දොස්තර නෝනිස් මන්ත්‍රීවරයාට පවසා තිබේ.

එවිටම ගුණවර්ධන මන්ත්‍රීවරයා තවදුරටත් කෑගසමින් දොස්තර නෝනිස්ට පහර කිහිපයක් ගැසූ බවත් ඔහුගේ කනට තදින් පහරක් වැදුණු බවත් සඳහන්.

Image caption 'විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා මට නීතිවිරෝධී ලෙස පහර දුන් බව මම සනාථ කරමි'

පුවත්පතේ සඳහන් වාර්තාව බොහෝ දුරට විශ්වසනීය බව ස්වාධීන මාර්ගවලින් සංදේශයට අනාවරණය විය.

සිදුවීම පිළිබඳව සංදේශයට අදහස් දැක්වූ දොස්තර ක්‍රිස් නෝනිස්: "ජනමාධ්‍ය විසින් දැනටමත් වාර්තා කොට තිබෙන ආකාරයට, පසුගිය සැප්තැම්බර් 24 වැනි දින විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා විසින් නිවුයෝක් නුවරදී මට නීතිවිරෝධී ලෙස පහර දුන් බව මම සනාථ කරමි," යනුවෙන් සඳහන් කළේය.

ඉන් අනතුරුව වහාම සාදයෙන් පිටව ගිය මහකොමසාරිස්වරයා පසුදින උදෑසන රෝහලට ගොස් සිය කන පරීක්ෂා කරවා ගෙන ජනාධිපතිවරයා හමුවීමට ගොස් තිබේ.

"එදිනම ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ මම මගේ ඉල්ලා අස්වීමේ ලිපිය එදිනම භාරදුන්නෙමි. එදින සවස් යාමයේ මම ලන්ඩනය බලා පැමිණියෙමි."

වතිකාන සංචාරය

සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රතිඥා දුන් බවද සංදේශයට වාර්තා වේ.

එහෙත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා නියෝග කරන්නේ ඉන් දින දහයකට පසුවයි. විදේශ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න විසින් දොස්තර නෝනිස්ට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන්ද විභාගයක් පවත්වන බව ආණ්ඩුව නිවේදනය කළේය.

ඉන් අනතුරුව පසුගිය සිකුරාදා ඔහුගේ ඉල්ලා අස්වීම ආණ්ඩුව විසින් භාරගෙන තිබුණි. ඒ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස වතිකානයේ සංචාරයක නිරතව සිටි අතරවාරයේ.

"මගේ රටට සහ ජනතාවට සේවය කිරීම පිණිස මේ අවස්තාව ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයාට මගේ හෘදයාංගම ප්‍රණාමය පුද කරන්නෙමි. මට භාරදුන් කාර්යය මට හැකි උපරිම අයුරින් ඉටු කළ බව මම විශ්වාස කරන්නෙමි. ජනාධිපතිතුමාට සහ එතුමාගේ පවුලේ සාමාජිකයන් කෙරෙහි මගේ පක්ෂපාතීත්වය කිසිදින වෙනස් නොවන්නකි," යනුවෙන්ද දොස්තර ක්‍රිස් නෝනිස්ගේ නිවේදනයේ දැක්වේ.

ජනමාධ්‍යවලට ලබාදුන් මෙම නිවේදනය හැරුණු කොට වෙනත් විස්තර හෙළි කිරීම දොස්තර ක්‍රිස් නෝනිස් ප්‍රතික්ෂේප කළේය.

මේ චෝදනා පිළිබඳව විමසීම පිණිස සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා සහ විදේශ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.