ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බන්ධනාගාර නියාමකවරු වැඩවර්ජනයක

බන්ධනාගාර කිහිපයක නියාමකවරුන් ආරම්භ කල වැඩවර්ජනයක් හේතුවෙන් අද කොළඹ අධිකරණ කලාපයේ අධිකරණ ගණනාවකම වැඩ කටයුතු මුළුමනින්ම අඩාල විය.

කොළඹ,මැගසින් සහ වැලිකඩ බන්ධනාගාරවල නියාමකවරුන් අද අඟහරුවාදා ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනයේ නිරත වීම නිසා අධිකරණ වෙත සැකකරුවන් ඉදිරිපත් කර තිබුණේ නැත.

අත්තනෝමතික ආකාරයෙන් සිදු කරන ස්ථාන මාරුවීම් අත් හිටුවන ලෙස බලකරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කල බවයි සංදේශය කළ විමසීමකදී බන්ධානාගාර නියාමකවරයෙකු ප්‍රකාශ කළේ.

බන්ධනාගාර අභයන්තර ආරංචි මාර්ග පැවසුවේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයද, රියදුරන්, සහ වෘතීය උපදේශකයන්ද වැඩ වර්ජනයට සහය දක්වන බවයි.

මේ හේතුවෙන් අධිකරණවල නඩු විභාග කල් දැමුණු අතර ඇප නියම කිරීමට නියමිත සැකකරුවන්ගේ මෝෂන් පත්‍ර සලකා බැලීමද කල දමන ලදී.

ඇප ලබාගැනීම

මෙම වර්ජන ක්‍රියාමාර්ගය නිසා රිමාන්ඩ් භාරයේ සිටින තම පුත්‍රයාට ඇප ලබාගැනීමට නොහැකි වූ බවයි රාගම සිට පැමිණි මාලනී පෙරේරා නමැති කාන්තාව ප්‍රකාශ කළේ.

“අපි උදේ 6.30 විතර මෙතනට ආවේ. අද අපේ පුතාට ඇප ලබා දෙන්න නියමිතව තිබුනා. සල්ලි ගෙවලා නීතිඥ මහතෙකු අල්ලා ගත්තා. එත් වර්ජනය නිසා ඇප ගන්න බැරිවුනා. හෙට නිවාඩු නිසා අනිද්දාට ඇප අරන් දෙන්නම් කියලා නීතිඥ මහත්තයා කිව්වා.” ඇය සඳහන් කළා.

මෙම අදහසම පලකළ දෙමටගොඩ සිට පැමිණි ජගත් කුමාර කියා සිටියේ නීතිවේදින්ට මුදල් ගෙවා දින ලබා ගත්තද තම සොහොයුරාට ඇප ගැනීමට නොහැකි වී ඇති බවයි.

රිමාන්ඩ් භාරයේ සිටින මගේ මල්ලිට අද මෝෂන් පත්‍රයක් මාර්ගයෙන් ඇප ලබාගන්නයි හිටියේ. එහෙත් වර්ජනය නිසා එක බැරිවුනා. හෙට නිවාඩු දවසක්. ඇප තියන්න බැහැ. එක නිසා සැකකරුවන්ට නිකරුනේ රිමාන්ඩ් භාරයේ ඉන්න සිදුවෙනවා. හරිම අසාධාරණයි.’’ ඔහු පැවසුවේය.

බන්ධනාගාර නියාමකවරුන්ට හදිසියේ මේ ආකාරයෙන් වර්ජන ක්‍රියාමාර්ගයක නිරත විය හැකිදැයි සංදේශය විමසා සිටියේ අපරාධ නඩු සඳහා පෙනී සිටින නීතිවේදියකු වන අමිල ඉන්දික ගෙන්.

වැඩ වර්ජන අයිතිය

‘මා දන්නා තරමට ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ පොලිසියට පමණයි වැඩ වර්ජනය කිරීමේ අයිතියක් නැත්තේ. බන්ධනාගාර නිලධාරීන්ට වැඩ වර්ජන කල නොකී බවට කිසිම නීති ප්‍රතිපාදනයක් නැහැ.” යනුවෙන් සඳහන් කල ඔහු මෙම වර්ජනය හේතුවෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බව කියා සිටියේය.

අද දින අධිකරණ වෙත සැකකරුවන් ඉදිරිපත් කිරීමක් සිදු නොවු බැවින් මහේස්ත්‍රාත්වරයෙකු බන්ධනාගාර වෙත ගොස් සැකකරුවන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රකාශකයෙක් පැවසුවේය..

කෙසේ වෙතෙත් සංදේශය කල විමසීමකදී බන්ධනාගාර මූලස්ථාන ප්‍රකාශකයෙකු කියා සිටියේ බන්ධනාගාර නියාමකවරුන්ගේ ගැටලුව පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විෂය භාර ඇමතිවරයා සමග සාකච්ඡාවක් පවත්වන බවයි.