ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කලපුවේ විදුලි කණු වහා ගලවන්න - පුත්තලම ධීවරයෝ

නොරොච්චෝලේ බලාගාරයේ නිෂ්පාදනය කෙරෙන විදුලිය අනුරාධපුරය දක්වා රැගෙන යාමට පුත්තලම කලපුව හරහා ඉදි කෙරෙන විදුලි කණු වහාම ගලවා ඉවත් කර ගන්නා මෙන් පුත්තලමේ ධීවරයෝ ඉල්ලා සිටිති.

කලපුව හරහා ඉදි කළ විදුලි කණුවල ධීවර දැල් පැටලී දැල් වලට හානි සිදු වන බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති.

මිට අමතරව විදුලි කණු මතට කාන්දු වන අකුණු හේතුවෙන් අනතුරුවලට මුහුණ දීමේ අවදානමක් පවතින බවත් ධීවරයෝ පවසති.

තෑගි භෝග

විරෝධය යටපත් කිරීම සඳහා තෑගි භෝග ලබා දීමේ කූට ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි ධීවරයන් තමාට පැවසූ බව ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න සංදේශයට ප්‍රකාශ කළේය.

විදුලි කණු ඉදි කිරීමට පෙර පරිසර වාර්තාවක් හෝ ලබා ගෙන නොමැති බව උද්ඝෝෂණයට සහභාගී වූ පුත්තලම ජනතා හඬ සංවිධානයේ කැඳවුම්කරු සමන්ත කෝරලගේ පෙන්වා දෙයි.

මීට අමතරව පුත්තලම කලපුව ආශ්‍රිත ධීවර සමිති කීපයක නායකයෝ ඇතුළු ධීවර සාමාජිකයෝ රැසක් උද්ඝෝෂණයට එක් වී සිටියහ.

මේ පිළිබඳ ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සෙනජිත් දසනායකගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පුත්තලම කලපුව හරහා ඉදි කෙරුණු විදුලි කණු වලින් ධිවරයනට කිසිඳු බලපෑමක් සිදු නොවන බවයි .