ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘ශ්‍රී ලංකන් එයාර් ලයින් අනාගතය යහපත්’- සභාපති

ශ්‍රී ලංකා ගුවන් සේවය ප්‍රගතියක් ලබා නැති බවට විවේචන එල්ල වෙමින් පවතින බව තමා දන්නේ යයි එහි සභාපති නිශාන්ත වික්‍රමසිංහ පවසයි.

සභාපතිවරයා එම අදහස් පළ කළේ බීබීසී සංදේශයේ කොළඹ වාර්තාකරු අශාම් අමීන් සමඟ පවත්වන ලද විශේෂ සාකච්ඡාවක දී.

එවැනි විවේචන එල්ල වෙමින් ඇතත් තම පාලනය යටතේ ශ්‍රී ලංකා ගුවන් සේවය නව ගුවන් යානා මිළ දී ගැනීමට පවා කටයුතු කරන අතර, කලාපයේ වෙනත් ගුවන් ව්‍යාපාර සමඟ තරඟ කිරීමට පියවර ගනිමින් ඇති බවයි කියා සිටියේ.

ප්‍රාග්ධන සංචිත අතින් ප්‍රගතියක් නැතත් ඉදිරි කාලය ඇතුළත එම අංශයෙන් ද ශක්‍යතා වර්ධනය විය හැකි බවට සභාපතිවරයා අනාවැකි පළ කරයි.

ඉදිරි කාලය ඇතුළත තවත් නව ගමනාන්ත කීපයකට මුල පුරන බව කියා සිටි ශ්‍රී ලංකා ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ, තම සමාගමට ‘One World’ ආරාධනය ලැබුණේ කිසිදු ඉල්ලා සිටීමකින් තොරව බවයි පවසන්නේ.

ආසියාවේ පළමු රට

ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන නවීනතම ගුවන් යානා වල මට්ටම පිළිබඳව විස්තර කරමින් ඔහු සඳහන් කළේ, ආසියාවේ එවැනි ගුවන් යානා යොදා ගනු ලබන පළමු රට ශ්‍රී ලංකාව වන බවයි.

‘මිහින් ලංකා’ ගුවන් සේවය ශ්‍රී ලංකා ගුවන් සේවය යටතට පවරා ගැනීමක් සිදු නොවන බව අවධාරණය කරන සභාපතිවරයා, එය වෙනම පරිපාලනයක් සහිත ව්‍යාපාරයක් වන බවයි පවසන්නේ.

එම සාකච්ඡාව අතරවාරයේ මත්තල ගුවන් තොටුපොල ගැන ප්‍රශ්නයක් යොමු වූ විට ඊට පිළිතුරු දුන් ශ්‍රී ලංකා ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ, එම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අනාගතයේ ඉතා පලදායී මට්ටමකට පත් වනු ඇති බවට අනාවැකියක් පළ කළේය.