ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ක්‍රිකට් තරු පාපන්දු පිටියේ

ක්‍රිකට් පිටියේ සුපිරි තරු සහභාගි වූ පාපන්දු තරගයක් ඊයේ බදාදා කොළඹ සහිරා විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණි.

මරදාන සහිරා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ එම තරඟය පැවැත්වුණේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන නායකත්වය දැරූ ‘ක්‍රිකට් ස්ටාර්’ කණ්ඩායම සහ ප්‍රකට ව්‍යාපාරික ෆවුසුල් හමීඩ් නායකත්වය දැරූ ‘ඕල් ස්ටාර්ස්’ කණ්ඩායම අතරයි.

මහේලගේ කණ්ඩායමට චමින්ද වාස්, උපුල් චන්දන, රවින්ද්‍ර පුෂ්පකුමාර, චම්පක රාමනායක වැනි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ එක්ව සිටියහ.

ප්‍රතිවාදී පිල වූ ‘ඕල් ස්ටාර්’ කණ්ඩායම, ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු සාමාජිකයින්, ව්‍යාපාරිකයින්, කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ගෙන් සමන්විත විය.

එම තරගයෙන් ‘ක්‍රිකට් ස්ටාර්ස්’ කණ්ඩායම ගෝල 6-1 ක් ලෙස පහසු ජයක් ලැබූ අතර, ක්‍රිකට් පිටියේ මෙන්ම පාපන්දු පිටියේද සිය දස්කම් පාමින් මහේල ජයවර්ධන ගෝල තුනක් ම වාර්තා කළේය.

උපුල් චන්දන ගෝල් දෙකක් සිය කණ්ඩායමට ලබා දුන් අතර තරඟය නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

පාපන්දු තරඟයේ සම්පුර්ණ ප්‍රවේශ පත්‍ර ආදායම සහ අනුග්‍රාහක ආදායම් යොදා ගනු ලබන්නේ සහිරා විදුහලේ අධ්‍යාපන අරමුදලටයි.