'ලංකාවේ දේශපාලන කටයුතුවලට සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන් වෙච්ච පළමු අවස්ථාවේදීම ඒකට සම්බන්ධ වෙන්නත් ඕන'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනපතිවරණයට එනවා - කුමාර් ගුණරත්නම්

ලබන වසරේ මුල භාගයේදී ජනපතිවරණයක්‌ පැවැත්වෙන්නේ නම් වාමාංශික දේශපාලනය සම්බන්ධයෙන් කතිකාවතක් ආරම්භ කිරීම පිණිස ඒ අවස්ථාව යොදා ගන්නා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක ප්‍රේමකුමාර් ගුණරත්නම් පවසයි.

සම අයිතිය ව්‍යාපාරය සංවිධානය කරන දේශපාලන සංවාද මාලාවකට සහභාගි වෙමින් සිටින අතරවාරයේ කැනඩාවේ සිට බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව කියා සිටි කුමාර් ගුණරත්නම් එහිදී සිය පක්ෂයේ සහාය හිමිවන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම වාමාංශික පොදු අපේක්ෂකයකු විය යුතු බවද සඳහන් කළේය.

"කවුද අපේක්ෂකයා කියන එකට වඩා අපේ මූලික අරමුණ විය යුත්තේ වාමාංශික දේශපාලන සංවාදය සමාජයට ගෙන යාම," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ඒ අරමුණින් මීළඟට පැවැත්වෙන ජනපතිවරණයට හෝ මහමැතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන්නේ දැයි සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මීළඟට එළැඹෙන ඕනෑම දේශපාලන අවස්ථාවක් යොදා ගනිමින් එම කතිකාව දියත් කිරීමට පක්ෂය තීන්දු කොට ඇති බවයි.

පිටුවහල් දේශපාලනය

කෙසේ නමුත් රටින් පිටුවහල්ව සිටිමින් එවැනි ව්‍යාපාරයක් දියත් කරන්නේ කෙසේද යන්න සංදේශය මතු කළ තවත් ප්‍රශ්නයක්.

"විදේශගතව ඉඳිමින් ලංකාවේ දේශපාලන කටයුතුවලට මැදිහත් වෙනවා කියන එකේ යම් අපහසුකම් තියෙනවා තමයි නමුත් ඒක ඒ බාධා මධ්‍යයේ කරගන්න පුළුවන්කම තියෙනවා," යන්නයි ඒ ප්‍රශ්නයට ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ ප්‍රතිචාරය වූයේ.

"ඒ වගේම ලංකාවේ දේශපාලන කටයුතුවලට සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන් වෙච්ච පළමු අවස්ථාවේදීම ඒකට සම්බන්ධ වෙන්නත් ඕන."

ලබන වසරේ ජනවාරි මාසයේ හෝ මාර්තු මාසයේ ජනපතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක් වී ඇති මාතෘකාවක්.

එළැඹෙන ජනාධිපතිවරණයට තරඟ වැදීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය දරන උත්සාහය විරුද්ධ පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීම පිණිස මහින්ද රාජපක්ෂ පරිපාලනය සමඟ එක්ව දියත් කරන කුමන්ත්‍රණයක් බවට නැගෙන චෝදනාව ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි.

"අපේ පක්ෂය ආරම්භයේ සිටම රාජපක්ෂ රෙජීමයේ බරපතල මර්ධනයට ලක් වෙච්ච ව්‍යාපාරයක්. අපිට ඉස්සරහට තියෙන දේශපාලන පෙළගැසීම්වලදී බලන්න පුළුවන් වෙයි, කොයි කොයි දේශපාලන කණ්ඩායම් කොහොමද කටයුතු කරන්නේ කියල," යනුවෙනුයි ඔහු ඒ චෝදනාවට ප්‍රතිචාරය පළ කළේ.