අධිකරණයෙන් දුම්රිය වර්ජනයට තහංචි

Image copyright AFP

දුම්රිය වෘත්තීය සමිති විසින් දියත් කර තිබුණ වැඩ වැරුම අත් හිටවමින් කොළඹ දිසා අධිකරණය අද සිකුරාදා වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

සිය කැමැත්තෙන් රැකියාවට වාර්තා කරන සේවකයින්ට බාධා කිරීමෙන් වළකින ලෙසත් අධිකරණය නියෝග කරයි.

කොළඹ දිසා අධිකරණය විසින් එම වාරණ නියෝගය නිකුත් කරන ලද්දේ දුම්රිය මගින් තිදෙනෙක් ඉදිරිපත් කළ පෙත්සමක් සැලකිල්ලට ගනිමින්.

ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව දියත් කළ දුම්රිය වර්ජනයට දුම්රිය නියාමකයෝ, අධීක්ෂණ නියාමකවරු, දුම්රිය ස්ථානාධිපතිවරු, සහ දුම්රිය පාලකවරු එක්ව සිටියහ.

මේ අතර පෙත්සම් කරුවන් කියා සිටින්නේ, දුම්රිය වෘත්තීය සමිති මෙහෙයුමෙන් දියත් කරනු ලැබ ඇති වැඩ වර්ජනය හේතුවෙන් තුන්සීයකට අධික දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සිදු ව ඇති බවයි.

මගී අසීරුතාවය

වැඩ වැරුම නිසා දිනපතා දුම්රියෙන් ගමන් ගන්නා මගීන් විශාල සංඛ්‍යාවක් දැඩි අසීරුතාවකට පත් වන බවයි පෙත්සම් කරුවන් කියා සිටින්නේ.

මගී ජනතාව මුහුණ දෙන එම දැඩි අසීරුතාවට අමතරව සමස්තයක් වශයෙන් රටේ ආර්ථිකය අඩාල වීමේ අවදානමක් ද පවතින බව පෙත්සම් කරුවෝ පවසති.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ දුම්රිය ධාවනය අඩාළවයි තිබුණේ.

එම කරුණු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය ලබන විසි හතර වෙනි දින තෙක් බල පැවැත්වෙන පරිදි වාරණ නියෝග දෙකක් නිකුත් කළ බවයි කේ.එස්.උදයකුමාර් වාර්තා කරන්නේ.

වර්ජනයට එරෙහි පෙත්සම මගින් වග උත්තර කරුවන් ලෙස නම් කර තිබුණ ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ නායකයින් විසි හය දෙනෙකුට ලබන විසි හතර වෙනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් කරනු දක්වන ලෙසත් නොතීසි නිකුත් කර ඇති බව කේ.එස්.උදයකුමාර් වාර්තා කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර