ක්‍රිස් නෝනිස්: කෙහෙළියගේ ප්‍රකාශය 'අසත්‍යයක්'

Image caption සාදයට සහභාගි වන මෙන් ඩිලාන් ආරියවංශ වෛද්‍ය නෝනිස් සහ එහි සිටි අනෙක් තානාපතිවරුන්ට ප්‍රසිද්ධියේම ආරාධනා කොට තිබේ

පසුගිය සැප්තැම්බර් 23 වැනි දින රාත්‍රියේ නිව්යෝක් නුවර පැවති භෝජන සංග්‍රහයට වෛද්‍ය ක්‍රිස් නෝනිස් 'අනාරාධිතව' සහභාගි වූ බවට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කරන ප්‍රකාශය සත්‍යයෙන් තොර බව ඊට පෙර දින පැවති භෝජන සංග්‍රහයකට සහභාගි වූවෝ බීබීසී සංදේශයට පැවසූහ.

එදින ශ්‍රී ලංකා එයාර්ලයින්ස් ආයතනයේ නිව්යෝක් නියෝජිත ඩිලාන් ආරියවංශගේ නිවසේ පැවති එම 'පෞද්ගලික සාදයට' බ්‍රිතාන්‍යයේ හිටපු මහකොමසාරිස්වරයා සහභාගි වූයේ 'අනාරාධිතව' බවත් එහිදී කිසිදු පහරදීමක් සිදු වී නැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය සිකුරාදා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

කෙසේ නමුත් සැප්තැම්බර් 22 වැනි දින නිව්යෝක් නුවර අවන්හලක සංවිධානය කොට තිබුණු රාත්‍රී භෝජන සංග්‍රහයේදී පසුදින රාත්‍රියේ පැවැත්වෙන සාදයට සහභාගි වන මෙන් ඩිලාන් ආරියවංශ වෛද්‍ය නෝනිස් සහ එහි සිටි අනෙක් තානාපතිවරුන්ට ප්‍රසිද්ධියේම ආරාධනා කළ බව අවන්හලේ සිටි පිරිස් සංදේශයට කියා සිටියහ.

ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන, නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වොෂින්ටනයේ සිටින ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම්, සජින් වාස් මන්ත්‍රීවරයා ඇතුළු විශාල පිරිසක් අවන්හලේ එම භෝජන සංග්‍රහයට එක් වී සිටියහ.

'ජනපති ලේකම්'

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිතයන් වෙනුවෙන් ඩිලාන් ආරියවංශ වාර්ෂිකව භෝජන සංග්‍රහයක් පවත්වන අතර, පසුගිය වසරේ පැවති එම සාදයට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පවා සහභාගි වූ බවත් විශ්වාසදායක ආරංචි මාර්ග සංදේශයට අනාවරණය කළේය.

සැප්තැම්බර් 23 වැනි දින රාත්‍රියේ පැවති සාදයටත් ජනාධිපති ලේකම්වරයා පැමිණීමට නියමිතව සිටියත් අවසාන මොහොතේ ඔහු එයට සහභාගි වී නැත.

Image caption විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී පහර දුන්නා - වෛද්‍ය නෝනිස්. පහර දුන්නේ නෑ - මන්ත්‍රී සජින් වාස්

ඊට පසු දින වෛද්‍ය නෝනිස් සහ තානාපති ප්‍රසාද් කාරියවසම් ඩිලාන් ආරියවංශගේ නිවසේ පැවති සාදයට පැමිණ තිබෙන්නේ එකම මෝටර් රථයකිනි.

එම සාදයේදී සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් තමන්ට පහර දුන් බව බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් පසුගිය සතියේ බීබීසී සංදේශයට පැවසීය. ඒ පිළිබඳව එදිනම ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂට පැමිණිලි කොට තිබේ.

සජින් වාස් මන්ත්‍රීවරයා වෛද්‍ය නෝනිස්ට පහර පිට පහර එල්ල කරද්දී තානාපති ප්‍රසාද් කාරියවසම් සහ වොෂින්ටන් තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වහා මැදිහත් වී සජින් වාස් මන්ත්‍රීවරයා ඉවත් කළ බවත් සංදේශයට අනාවරණය වේ.

එහෙත් දෙදෙනා අතර බහින්බස්වීමක් හටගත්තා විනා පහරදීමක් සිදු නොවූ බව සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා නිවුස්ෆස්ට් නාලිකාවට පවසා තිබුණි. හිටපු මහකොමසාරිස්වරයාට පහරදීමක් සිදු වී නැති බව අමාත්‍ය රඹුක්වැල්ලද පවසයි.

ජාත්‍යන්තර අවධානය

සිදුවීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට සිය ඉල්ලා අස්වීම භාරදුන් වෛද්‍ය ක්‍රිස් නෝනිස් ලන්ඩනය බලා පැමිණ දින කිහිපයකට පසුව බර්මින්හැම් නුවර පැවැත්වුන බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සමුළුවට සහභාගි විය.

Image caption "ලංකාවේ මානව හිමිකම් ගැන අපි ප්‍රශ්න කරන්නේ ඇයි කියල දැන් තේරෙනව නේද?"

එයට සහභාගි වී සිටි බොහෝ විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් පහර දීම පිළිබඳව ඔහුගෙන් විමසා තිබෙන අතර, "මාලදිවයිනේදී එයාල මට කරන දේ, ලංකාවේදී ඔවුන් ඔබට කරනවා නේදැයි," මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් තවත් බොහෝ දෙනා ඉදිරියේ සඳහන් කළ බව පක්ෂ සමුළුවට සහභාගි වූවෝ පවසති.

"ලංකාවේ මානව හිමිකම් ගැන අපි ප්‍රශ්න කරන්නේ ඇයි කියල දැන් තේරෙනව නේද," යනුවෙන් බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය හියුගෝ ස්වයර් එහිදී වෛද්‍ය නෝනිස් ගෙන් ප්‍රශ්න කොට තිබේ.

පහරදීමේ චෝදනාව සහ වෛද්‍ය ක්‍රිස් නෝනිස්ට එරෙහිව විදේශ අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න විසින් ඉදිරිපත් කොට තිබෙන චෝදනාව පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝබර් 04 වැනි දින නියෝග කළේය. ඉල්ලා අස්වීම භාරගත් බව එදිනම විදේශ අමාත්‍යාංශය වෛද්‍ය නෝනිස්ට දැනුම් දී තිබේ.

පරීක්ෂණය පිළිබඳ වැඩිදුර විස්තර විමසීම පිණිස විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා ඇමතීමට සංදේශය දින ගණනාවක් මුළුල්ලේ දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර