දුම්රිය ස්ථාන වලද දුම්රිය මාර්ගයේ දෙපසද තැනින් තැන සිටි පිරිස් ජාතික ධජය ඔසවමින් හා ඔල්වරසන් දෙමින් සතුට පළ කළහ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යාල් දේවී යළිත් යාපනයට: 'ඓතිහාසික චාරිකාවක්'

වසර විසිහතරකට පසුව ප්‍රථම වතාවට යාල්දේවී දුම්රිය යාපනයට ලඟා වූයේ ප්‍රථම මගියා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද කැටුවයි.

පලෙයි දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශ පත්‍රයක් මිලට ගෙන යාපනය දක්වා ගමන් කළ ජනාධිපතිවරයා යාපනය දුම්රිය ස්ථානයේදී මහත් හරසරින් යුතුව පිළිගැනුනි.

වසර 24 කට පසුව ආරම්භ වන මෙම දුම්රිය ගමන තවත් ඓතිහාසික දුම්රිය චාරිකාවක් බව දුම්රියේ ගමන් ගන්නා අතරතුර ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළේය.

2009 වර්ෂයේ මැයි මාසයේදී උතුරු පළාත නිදහස් කර ගැනීමෙන් පසුව එහි වැසියන්ගේ නිදහස උදෙසාද මෙය ශක්තිමත් දුම්රිය ගමනක් වනවාට කිසිදු සැකයක් නොමැති බව කී ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී ජනතාව දිනාගැනීමට, ජනතාවගේ හදවත් ශක්තිමත් කිරීමට මෙන්ම සිංහල සහ දෙමළ ජනතාවගේ හදවත් එකිනෙක යාකිරීමටද යාපනය දක්වා දුම්රිය ගමන් කිරීම ඉවහල් වන බවද පැවසීය.

උතුරු දුම්රිය මාර්ගයේ යාපනය දක්වා දුම්රිය ධාවනය සිදුවන නමුත් තවමත් දකුණේ දුම්රිය මාර්ගයේ වැඩ අවසන් වී නොමැති බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ සිහිපත් කළේය.

මහ පිරිස්

යාල්දේවී දුම්රිය ධාවනය ආරම්භ වූයේ 1956 අප්‍රේල් මස 23 වෙනිදාය.

එල්ටීටීඊ සංවිධානය මුලින්ම 1985 ජනවාරි මස 19 වෙනිදා යාල්දේවි දුම්රියට බෝම්බ තබා එය පුපුරවා හැරීමෙන් පසුව මාසයක පමණ කාලයක් යාල්දේවී දුම්රිය වවුනියාවෙන් උතුරට ධාවනය නොවුණි.

ඉන් පසුව ටික කලක් උතුරට යළිත් දුම්රිය ධාවනය ආරම්භ කෙරිණ.

1990 ජුනි මස 10 වැනි දින එල්ටීටීඊ සංවිධානය රජය සමග ඇතිකොටගෙන තිබූ සටන් විරාමය බිඳ දැමීමත් සමගම යාපනය ඇතුලු උතුරේ පළාත් ගණනාවක් දකුණු ප්‍රදේශයෙන් වෙන්වීම නිසා උතුරට දුම්රිය ධාවනය මුලුමණින්ම ඇණ හිටියේය.

දැන් යාපනය දක්වා දුම්රිය ගමන් යළිත් ආරම්භ වී තිබෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 650 ක පමණ වියදමකින් වවුනියාවේ සිට යාපනය දක්වා දුම්රිය මාර්ගය යළි සකස් කිරීමෙන් අනතුරුවයි.

යාල්දේවී දුම්රිය යාපනය දක්වා ගමන් කරණ අතරතුර අතර මග පිහිටි දුම්රිය ස්ථාන වලද දුම්රිය මාර්ගයේ දෙපසද තැනින් තැන සිටි පිරිස් ජාතික ධජය ඔසවමින් හා ඔල්වරසන් දෙමින් දුම්රිය ධාවනය යළි ආරම්භ වීම පිළිබඳව සිය සතුට පළ කළහ.