වසර 24 කට පසුව යාල් දේවී යලිත් යාපනයට

වසර 24 කට පසුව යාපනය බලා ගමන් කළ පළමු 'යාල් දේවි' දුම්රියේ ප්‍රථම මගියා බවට පත්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි ඉදිකෙරුණු දුම්රිය මාර්ගය විවෘත කළේය.

උතුරේ තෙදින නිල සංචාරයක යෙදී සිටින ජනාධිපතිවරයා ඉන් අනතුරුව අලුතින් ඉදිකරන ලද යාපනය දුම්රිය ස්ථානය සහ සංඥා පද්ධතියද විවෘත කළේය.

උතුරු පළාත් සභාවේ පාලනය හොබවන දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාගේ සංචාරය වර්ජනය කරන නමුත්, ජනාධිපතිවරයා පලෙයි දුම්රිය ස්ථානයෙන් යාපනය දක්වා ගමන් කිරීමට ප්‍රථම ප්‍රවේශපත්‍රය මිලදී ගත් අවස්ථාවේ සහ ඔහු යාපනයට ලඟා වන විට ඔහු පිළිගැනීම පිණිස විශාල පිරිසක් යාපනය දුම්රිය ස්ථානයට රැස්ව සිටියහ.

Image copyright AP

කොළඹ සහ යාපනය අතර දුම්රිය මාර්ගය යළි විවෘතවීම දශක ගණනාවක පශ්චාත් යුද කාලීන ශ්‍රී ලංකාවේ සංහිඳියාව පිළිබඳ යහපත් ප්‍රවණතාවයක් ලෙසිනුයි විශ්ලේෂකයන් විග්‍රහ කරන්නේ.

ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම, සම්ප්‍රදායික හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ඉන්දීය මහ කොමසාරිස් වයිතකේත සිංහා ද ඒ අවස්ථාවට එක්ව සිටියහ.