යාල් දේවී; මගියකුගේ ඇසින්

‘යාල් දේවී’ දුම්රිය ධාවනය යළි ආරම්භ කරනු ලැබීම දේශපාලන ඇසින් නොව මහජනතාවට කලින් තිබුණ සමාජ පහසුකමක් සහ අයිතියක් නැවත සහතික කිරීමක් හැටියට දකින බව යාපනය සරසවියේ වාග්විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පවසයි.

මෙය ජාතික ප්‍රශ්නය නිරාකරණය කිරීමේ විසඳුම් මාර්ගයක් ලෙස නොව යුද්ධය මගින් විනාශ කෙරුණ දේවල් නැවත ස්ථාපනය කිරීමේ උත්සාහයක් ලෙස දැකීම වැදගත් වන බවයි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පෙන්වා දෙන්නේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා එම අදහස් පළ කළේ බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී.

‘යුද කාලයේ යාපනය අර්ධද්වීපය කොටු වූ තත්වයකයි පැවතුණේ. ප්‍රධාන ගොඩ බිම් මාර්ගය වූ අලි මංකඩ පාර වැසී යාමත් සමඟ ‘කිලාලි’ කලපුව හරහා ගොඩ බිමට ගොස් ඉන් අනතුරුව වව්නියාව හරහායි අර්ධද්වීපයේ වැසියන්ට කොළඹ ඒමට සිදු වුණේ.1995 න් පසුව එම මාර්ගයත් වැසී ගොස් ගුවන් යානා සහ නැව්වල පිහිට පැතීමට මහජනයාට සිදු වුනා’ කථිකාචාර්ය සාමිනාදන් විමල් සිහිපත් කරයි.

මාස දෙක හමාරක් ත්‍රිකුණාමලයේ

එහෙත් එම ප්‍රවාහන මාර්ග ඊට වැය වෙන කාලය ,වියදම, ගමනේ අවිනිශ්චිතභාවය සහ ගමනට අවසර බලපත් ලබාගත යුතු වීම ආදී කරුණු නිසා අතිශයින් දුෂ්කර වූ බවයි ඔහු පවසන්නේ.

‘එක් වතාවක් මම ගුවන් මගින් යාපනයේ සිට කොළඹට පැමිණියා. ගැටුම් උත්සන්න වී ගුවන් ගමන් ඇනහිටීම නිසා නැවකින් හෝ යාපනය බලා යාමට පැමිණි මට මාස දෙක හමාරක පමණ කාලයක් ත්‍රිකුණාමලයේ කොටු වී සිටීමට සිදු වුනා. එම කාලය තුල හැම දවසකම වරායට ගොස් නැවක් පිටත් වන්නේදැයි විපරම් කරමින් සිටීමට මට සිදු වුණා’ සාමිනාදන් විමල් මෙනෙහි කරයි.

ගමනාගමනය ඉතා දුෂ්කර කාල වකවානුවල බඩු නැව් සහ යුද හමුදා සෙබළුන් ප්‍රවාහනය කරන ගුවන් යානා වලින් ගමන් ගැනීමටත් මහජනතාවට සිදු වූ බවයි ඔහු කියා සිටින්නේ.

පහසුව ආශ්වාදයක්

එවැනි අමිහිරි අතීතය සිහිපත් කරන විට දුම්රිය ගමන් නැවත ආරම්භ කරනු ලැබීම මහජනතාවට ආශ්වාද ජනක වනු ඇති බවත් ඔහු අදහස් කරයි.

‘යාල් දේවි’ පුනරාගමනය නිමිත්තෙන් අද සඳුදා යාපනයේ පළ කෙරෙන පුවත්පත් මුල් තැනක් දී තිබුණ බව පවසන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් ඇතැම් පුවත්පත් වල විශේෂ අතිරේක පවා පළ කර තිබුණ බවයි කියා සිටියේ.

ජාතීන් අතර පවතින අනවබෝධය තුරන් කිරීමට ‘යාල් දේවී’ එක්තරා රුකුලක් වන නමුත් එය ජාතික ප්‍රශ්නය විසඳීමට පූර්ණ විසඳුමක් නොවන බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයාගේ අදහසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර