මරණ තර්ජන මැද මාධ්‍යවේදීහු රහසේ රැස්වෙති

Image caption කොළඹ රහසිගත ස්ථානයක දී රැස්වුණු මාධ්‍යවේදීන්

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වූ ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ ජනමාධ්‍යවේදීන්ට සහතිකපත් බෙදාදීමේ උත්සවයක් සහ සුහද හමුවක් නොපවත්වන ලෙස සංවිධානාත්මක පිරිසක් තර්ජන එල්ල කිරීම හේතුවෙන් එම උත්සවය රහස් ස්ථානයක දී පැවැත්වීමට සිදුවූ බව සංවිධායකයෝ පවසති.

Image copyright tisrilanka.org

මෙම උත්සවය සහ සුහද හමුව බදාදා (15) උදේ 10.00ට කොළඹ ජානකී හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබුණද මේ වනවිට එය කොළඹ නගරයේ රහසිගත ස්ථානයක පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු කළහ.

උත්සවය වහා අවලංගු කරන ලෙසත්, එසේ නොකළහොත් වද හිංසාවලට ලක් කොට මරා දමන බවටත් අඟහරුවාදා (14) සවස 5ට පමණ අනන්‍යතාව හෙළි නොකළ පුද්ගලයකු විසින් දුරකථනය ඔස්සේ තර්ජනය කළ බව වැඩසටහනේ මාධ්‍ය පුහුණුකරුවකු හා උත්සවයේ සංවිධායකයකු වන මාධ්‍යවේදී ජයසිරි ජයසේකර බීබීසී සංදේශයට පැවසීය.

එම දුරකථන අංකය මගින්ම ට‍්‍රාන්ස්පේරන්සි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන් විජේතුංගගේ ජංගම දුරකථනයටද තුන් වතාවක්ම ඇමතුම් ලබාදී ඇතත්, ඔහු එම ඇමතුම්වලට පිළිතුරු දී නැත.

අදාළ උත්සවයට සහභාගී වීමට නියමිත, වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනූර් කිචිලාන් ටද ඉහත දුරකථන අංකය ඔස්සේම මරණ තර්ජන එල්ල කොට ඇති බවත් ජයසිරි ජයසේකර පැවසීය.

බදාදා රැස්වීම අවලංගු කර ඇති බවත්, එම ‘එල්ටීටීඊ රැස්වීමට’ සහභාගී නොවන ලෙසත්, එසේ ගියහොත් ප‍්‍රහාරයට ලක් වන බවත් ඉන් ටික වෙලාවකට පසුව ජයසිරි ජයසේකරගේ සහ තවත් මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථනවලට එවූ කෙටි පණිවුඩයක සඳහන් වී තිබේ.

‘රට බේරාගත් දේශපේ‍්‍රමී බලකාය’ එහි පණිවුඩකරු ලෙස සඳහන් කොට තිබිණ.

ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල සිංහල සහ දෙමළ භාෂාවෙන් මාධ්‍යකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදීන් 60 දෙනෙකු උත්සවයට සහභාගී වීමට නියමිතව සිටි අතර, රාවය පුවත්පතේ උපදේශක කර්තෘ වික්ටර් අයිවන් සහ ප‍්‍රංශ පුවත් සේවයේ කොළඹ ප‍්‍රධානී අමල් ජයසිංහ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත දේශකයන්ය.

ට‍්‍රාන්ස්පේරන්සි ආයතනය සංවිධානය කරන මෙම පුහුණු වැඩසටහනේ වැඩමුළු දෙකකට එල්ල වූ තර්ජන හේතුවෙන් එම වැඩමුළු අවලංගු කිරීමට සිදු වූ අතර පසුගිය මාස කිහිපය ඇතුළත තවත් වැඩමුළු ගණනාවකටම තර්ජන එල්ල විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර