හිටපු පොලිස්පති යළිත්? 'අබුද්දස්ස කාලේ වැඩක්'

Image copyright Defence.lk
Image caption වරදක් කොට ඉල්ලා අස් වූ පුද්ගලයකු එම ආයතනයේම තවත් ඉහල තනතුරකට පත්කිරීම 'අබුද්දස්ස කාලේ වැඩක්'

සාමකාමී උද්ඝෝෂණයකට පොලිසිය කළ වෙඩි තැබීමක වගකීම භාරගෙන පදවියෙන් ඉල්ලා අස් වූ පුද්ගලයකු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් පදවියට පත් කිරීමට සැරසීම නීතිවේදී එකමුතුව දැඩි විවේචනයට ලක් කරයි.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයන්ට පොලිසිය වෙඩි තැබූ අවස්ථාවේ රොෂේන් චානක තරුණයා මියයාමේ වගකීම භාරගෙන පදවියෙන් ඉල්ලා අස් වූ හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය ළඟදීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් පදවියට පත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට ජනමාධ්‍ය වාර්තා කරයි.

සිය වරද සහ 'අකාර්යක්ෂමතාවය' ප්‍රසිද්ධියේ පිළිගත් පුද්ගලයකු පොලිසිය භාර අමාත්‍යංශයේ භාර ඉහලම නිලධාරියා ලෙසින් පත්කිරීම ළඟ එන මැතිවරණයකට ආණ්ඩුවේ සූදානමක් ලෙසිනුයි නීතිවේදී එකමුතුව විග්‍රහ කරන්නේ.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සහ ජාත්‍යන්තර බලපෑම හමුවේ පිහිටුවන ලද මෙවැනි අමාත්‍යාංශයක ලේකම් පදවිය දැරිය යුත්තේ සිවිල් නිලධාරියකු බවත් නීතිවේදී එකමුතුවේ සම ප්‍රකාශකවරයකු වන නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ සංදේශයට කියා සිටියේය.

'දැනුම්දීමක් නෑ'

"නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා ඉස්සර හිටියේ සිවිල් සේවකයෝ," බවයි ඔහු පෙන්වා දෙන්නේ.

'ගතව ගිය මැතිවරණවලදී කටයුතු කළ ආකාරයට' එළැඹෙන මැතිවරණයකදීත් 'ආණ්ඩුවට රැකවරණය ලැබෙන ආකාරයට' පොලිසිය මෙහෙයවීම පිණිස හිටපු පොලිස්පතිවරයා පොලිසිය භාරව පත්කිරීමට සූදානම් වන බවත් නීතිවේදී කුමාරගේ සඳහන් කළේය.

"දැන් සෑම දෙයක්ම මේ දවස්වල කරන්නේ ජනාධිපති මැතිවරණය එල්ල කරගෙනයි," යනුවෙන් සඳහන් කළ නීතිවේදී කුමාරගේ වරදක් කොට ඉල්ලා අස් වූ පුද්ගලයකු එම ආයතන්යේම තවත් ඉහල තනතුරකට පත්කිරීම විග්‍රහ කරන්නේ 'අබුද්දස්ස කාලේ' පමණක් සිදුවන ක්‍රියාදාමයක් ලෙසින්.

මහින්ද බාලසූරිය හිටපු පොලිස්පතිවරයා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කෙරෙන්නේ දැයි විමසීම පිණිස කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

කෙසේ නමුත් පදවියෙන් ඉල්ලා අස්වන මෙන් මෙතෙක් තමන්ට කිසිදු දැනුම්දීමක් ලැබී නැති බව අමාත්‍යංශයේ වත්මන් ලේකම් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය.