රන් අයිතිය යළි ජනතාවට

Image copyright president.gov.lk

කොටි සංවිධානයේ පාලනය පැවති සමයෙහි උතුරු පළාතේ මහජනතාව එම සංවිධානයේ බැංකුවලට උකස් කල සහ එම පාලනය විසින් පැහැර ගනු ලැබූ ඒවා යයි බලධාරීන් පවසන රත්‍රන් තොග යළි ඒවා හිමිකරුවන්ට භාර දීමේ වැඩ පිළිවෙළ පෙරට යමින් ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසයි.

රන් භාණ්ඩ ආපසු පැවරීම ආරම්භ වුණේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතින් කිලිනොච්චියේ දී සිදු කෙරුණ සංකේතාත්මක භාර දීමකින්.

බීබීසිය සමඟ සාකච්ඡාවක දී යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියේ රන් ආභරණ ආපසු පැවරීම පෙරට ගෙන යන අතර තවත් දෙදහසකට අධික පිරිසකට ඔවුන්ගේ ස්වර්ණාභරණ ආපසු භාර දෙන බවයි.

හමුදාවට හසු වූ රන් තොගය ඒවායේ හිමිකරුවන් අතට යලි පත් වන්නේ යුද්ධය නිම වී වසර පහකට පසුවයි.

මෙම රත්‍රන් කොටි සංවිධානය විසින් සාමාන්‍ය ජනයාගෙන් පැහැර ගනු ලැබුණ ඒවා බවයි, බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගේ අදහස වන්නේ.

උකස් කළ රන් අබරණ

ශ්‍රී ලංකා හමුදාව පවසන ආකාරයට මෙම රන්භාණ්ඩ සොයා ගනු ලැබ ඇත්තේ යුද්ධය පැවති ප්‍රදේශයක අත්හැර දමා තිබියදී වන අතර අයිතිකරුවන් සනාථ කළ නොහැකි සියළුම ස්වර්ණාභරණ ශ්‍රී ලංකා මහ බැංකුවට භාර දෙනු ඇත.

Image copyright Getty
Image caption රාත්තල් 242 තරම් වූ රත්‍රන් බඩු ප්‍රමාණයක් යුද පිටියකින් සොයාගත් බවයි පැවසෙන්නේ

මෙම රත්‍රන් ප්‍රමාණය කෙතරම් දැයි හමුදාව ප්‍රකාශයට පත් කර නැති නමුත් යුද්ධය අවසන් වීමත් සමග ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත් කළේ රාත්තල් 242 තරම් වූ රත්‍රන් බඩු ප්‍රමාණයක් යුද පිටියකින් සොයා ගත් බවයි.

මේ අතර කිලිනොච්චියේ වැසියකු වන ජෝන් පද්‍රීස් බීබීසියට කියා සිටියේ, යුද්ධය උත්සන්න අවධියේ ආහාර පාන සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට විකල්පයක් නොවූ තැන උතුරේ වැසියන් කොට සංවිධානය විසින් පවත්වා ගෙන යන ලද බැංකුවලට ඔවුන්ගේ රන් ආභරණ උකස් කරන ලද බවයි.

යුද්ධය පැවති ප්‍රදේශවල ජනතාව විසින් එල්ටීටීඊ සංවිධානයට උගස් කළ රන් ආභරණ සඳහා එල්ටීටීඊ සංවිධානය විසින් නිකුත් කරන ලද ලදු පත් ඒවායේ හිමිකම් පිළිබඳ සාක්ෂියක් ලෙස සලකන බව බලධාරීහු පවසති.

ප්‍රමාණය අවිනිශ්චිතයි

කොපමණ රන් තොගයක් බලධාරීන් අතට පත් ව ඇද්දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි නමුත් යුද්ධය නිමාවේ ඒගැන විවිධ ගණන් හිලව් ඉදිරිපත් ව තිබුණි.

යුද සමයේ හමුදාපති පදවියේ සිටි ජනරාල් සරත් ෆොන්සේකා 2011 වසරේ ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ රත්‍රන් කිලෝ දෙසීයක් පමණ යුද හමුදාව සොයා ගත් බවයි.

මෙම රන් භාණ්ඩ වල අයිතිය සතු සැබෑ හිමිකරුවන් හඳුනා ගැනීමට කටයුතු කරන අතර අයිතිකරුවන් හඳුනා නො ගත් රන් භාණ්ඩ ඇති බව පවසන යුද හමුදා ප්‍රකාශක රුවන් වනිගසූරිය ඒවා හඳුනා ගැනීමට උදව් වෙන මෙන් මහජනයාගෙන් ඉල්ලීමක් කරයි.

ඉහත කී රත්‍රන් ආපසු ඒවායේ හිමිකරුවන් වන සාමාන්‍ය ජනතාවට භාර දෙන මෙන් දෙමළ දේශපාලන පක්ෂ වලින් රජයෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර