ෆොන්සේකාට තවත් තහංචියක්

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජනරාල් සරත් ෆොන්සේකාගේ නම නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව ඡන්දදායක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මෙන් මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි.

ජනරාල් ෆොන්සේකාගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා එම පියවර ගන්නා බවයි, මැතිවරණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග මගින් පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් සංදේශයට ප්‍රකාශයක් කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ කියා සිටියේ, ජනරාල් සරත් ෆොන්සේකා ඡන්දදායක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබීම ඔහු ඉදිරි ජනාධිපතිවරණයක දී තරඟ වැදීම වළක්වා ලීමේ උපායක් වන බවයි.

එදා ඡන්දය දුන්නා

තවදුරටත් කරුණු පැහැදිලි කරන මන්ත්‍රීවරයා පසුගිය පළාත් සභා මැතිවරණයේ දී ජනරාල් ෆොන්සේකාට ඔහුගේ ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොවූ බවයි පෙන්වා දුන්නේ.

පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා 2013 ඡන්දදායක ලැයිස්තු අනුව\ කැස්බෑව ඡන්ද මධ්‍යස්ථානයක දී ඔහුගේ ඡන්දය පාවිච්චි කර තිබුණි.

Image copyright BBC World Service

කෙසේ වුවද, නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය පරිදි ජනරාල් සරත් ෆොන්සේකා ගේ නම 2014 ඡන්දදායක ලැයිස්තුවෙන් මකා දැමීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගනු ඇතැයි මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි.

එම තීන්දුව අද සිකුරාදා මැතිවරණ කොමසාරිස්වරයා දේශපාලන පක්ෂ ලේකම්වරුන් හමුවේ ප්‍රකාශයට පත් කරනු ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර