ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සරත් ෆොන්සේකාගේ ඡන්ද අයිතිය අහිමි කෙරෙයි

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව ඡන්දදායක ලැයිස්තුවෙන් තම නම ඉවත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගනු ලබන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බලපෑම අනුව යයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජනරාල් සරත් ෆොන්සේකා පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුවයි, මැතිවරණ කොමසාරිස්වරයා සරත් ෆොන්සේකාගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට කටයුතු කරනු ලබන්නේ.

මේ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනි නාලිකාවට ප්‍රකාශයක් ලබා දෙමින් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ 2014 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට සරත් ෆොන්සේකාගේ නම ඇතුළත් නො කෙරෙන බවයි.

ජනරාල් සරත් ෆොන්සේකා අද, සිකුරාදා උදෑසන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ, ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරග වැදීම වැළැක්වීමට ගත් එම පියවර නීති විරෝධී ක්‍රියාවක් වන බවයි.

කතා දෙකක්

තමාට නියම කෙරුණ සිර දඬුවම සම්පුර්ණයෙන් ම ගෙවා නැති හෙයින් ඡන්දය පාවිච්චි කිරීමට අයිතියක් ඇති බව එදා පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණ සමයේ දී මැතිවරණ කොමසාරිස්වරයා තමා සමඟ පැවසූ බව සිහිපත් කරන ජනරාල් සරත් ෆොන්සේකා,දැන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඔහු එම තීරණය වෙනස් කර ඇති බවයි කියා සිටින්නේ.

තමන් ඉදිරි ජනාධිපතිවරණයේ දී යළිත් පොදු අපේක්ෂකයා ලෙස හෝ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු ඇතැයි පවතින බිය නිසා ජනාධිපතිවරයාගේ උවමනාව අනුව මෙවන් තීරණයක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගනු ලැබ ඇති බවයි සරත් ෆොන්සේකා වැඩිදුරටත් පවසන්නේ.

එහෙත් එම ක්‍රියාමාර්ග හමුවේ තමන් හෝ තම පක්ෂය කිසිම ආකාරයකින් පසු නොබසින බව පැවසූ ජනරාල් සරත් ෆොන්සේකා, කෙසේ හෝ ඉදිරි මැතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කරන බවයි අවධාරණය කරන්නේ.

බියපත් ජනපති

2014 ඡන්දදායක නාම ලේඛනයෙන් සරත් ෆොන්සේකාගේ නම ඉවත් කෙරුනොත්, ඒ සමග ඔහුට ඉදිරි මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ කිරීමේ හා ඡන්දය ඉල්ලීමේ අයිතිය අහිමි කෙරෙනු ඇත.

මේ අතර අද සිකුරාදා දේශපාලන පක්ෂවල නියෝජිතයන් මැතිවරණ කොමසාරිස්වරයා හමු වූ අවස්ථාවේ ජනරාල් ෆොන්සේකා ගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට යාමේ ප්‍රශ්නයත් මතු විය.

තමන් විසින් මතු කරණ ලද කාරණය සම්බන්ධයෙන් පිළිතුරු දුන් මැතිවරණ කොමසාරිස්වරයා නීතිපතිවරයාගේ උපදෙස් අනුව සරත් ෆොන්සේකාගේ නම ඡන්දදායක නාම ලේඛනයෙන් ඉවත් කරන බව තමන්ට දැනුම් දුන් බවයි, එම හමුවට සහභාගී වූ බස්නාහිර පළාත් සභාවේ ඇමති උදය ගම්මන්පිල මාධ්‍යවේදීන්ට කියා සිටියේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් ඔහුට අධිකරණයේ පිහිට පැතිය හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළ බවත් උදය ගම්මන්පිල පවසයි.