අලි ජාවාරමට සම්බන්ධ නැහැ - නිලධාරීන්

ශ්‍රී ලංකාවේ අලි පැටවුන් සොරකම් කර ගැනීමේදී සිදු කරන ජාවාරමේ ඇතුල් පැත්ත පරිසර සංවිධාන විසින් හෙළි කොට තිබේ.

පරිසරවේදී පුබුදු වීරරත්න පැවසුවේ අලි පැටවුන් හතර දෙනකු පිළිබඳව තොරතුරු සෙවීමේදී එම ජාවාරමේ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි.

අක්‍රමිකතා

අලි පැටවුන් හතර දෙනකු නියැඳි වශයෙන් තෝරා ගෙන එම අලි පැටවුන්ට අදාළ ලිපි ගොනු වල තිබෙන අක්‍රමිකතා සම්බන්ධව විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ වසරේ ජුලි මාසයේ 22 දින සිය වාර්තාවක සඳහන් කර තිබූ බව ඔහු පෙන්වා දුන්නේය.

එම අක්‍රමිකතා පිලිබඳව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දින 14 අතුලත පිළිතුරු විමසා සිටි නමුත් ඒ සඳහා පිළිතුරු ලැබුනේ මාස දෙකකටත් වැඩි කාලයකට පසුව බවයි ඔහු පැවසුවේ.

වනාන්තරවලින් නීති විරෝධී ලෙස අලි පැටවුන් අල්ලා ගෙන ව්‍යාජ ලේඛන මගින් ලියාපදිංචිය ලබා ගත් පුද්ගලයන් ආරක්ෂා කිරීමටත් විගණකාධිපති දෙපාර්තමේන්තුව වැරදි යයි කියා පෑමටත් එම ලිපියෙන් උත්සාහ කොට තිබු බව පරිසරවේදී පුබුදු වීරරත්න පැවසුවේය.

මව් සතුන් මරා හෝ වෙඩි තියා පලවා හැර හෝ අලි පැටවුන් අල්ලා ගැනීම සිදු කෙරුණ බව පැවසූ ඔහු දැන් අලුත් තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින් පශු වෛද්‍යවරුන්ගේ සහය ඇතිව අලි පැටවුන් නිර්වින්දනය කොට සුඛෝපභෝගී වාහන සහ ලොරි රථ තුළ කොළඹට ප්‍රවාහනය කරන බව කියා සිටියේය.

ව්‍යාජ ලේඛන

ඉන් අනතුරුව එම සතුන් හීලෑ කෙරෙන අතරතුර වන ජීවී දෙපාර්තමේන්තුවේ ව්‍යාජ ලේඛන සකස් කෙරෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සමහර බලපත්‍රලාභීන් ග්‍රාම සේවා නිලධාරීන්ගේ, පශු වෛද්‍යවරුන්ගේ, වනජීවී නිලධාරීන්ගේ අත්සන් හා ලේඛන කූට ලෙස සකස්‌ කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම අක්‍රමිකතා පිළිබඳව පරිසර සංවිධාන විසින් මානව හිමිකම් කොමිසමට, විගණකාධිපති දෙපාර්තමේන්තුවට, අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට, පොලිසියට සහ නීතිපති දෙපාර්ත මේන්තුවට පැමිණිලි කළ ද අල්ලස්‌ ‌ හෝ දූෂණ විමර්ශන කොමිසම හෝ පොලිස් මූලස්ථානය හෝ රහස් පොලීසිය හෝ මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත් බවයි ඔහු පැවසුවේ.

මේ සඳහා ක්‍රියාත්මක වූයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව, නීති පති දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කොමිසම පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

නව නීති

පරිසරවාදීන් නගන චෝදනා පිළිබඳව විමසීමක් කළ විට වන ජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එච්. ඩී .රත්නායක එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

ඔහු පැවසුවේ සිය නිලධාරීන් දැනුවත් කොට අපරාධ කරුවන් අල්ලා ගැනීමේ වැඩ සටහනක් මෙන්ම අධිකරණ ක්‍රියා මාර්ගයන් ද ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පවතින නීතියේ අඩු පාඩු තිබෙන බවත් නව නීති සම්පාදනය කිරීමේ උවමනාවක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර