වැස්සෙන් යාපනයේ විශාල පිරිසක් අනාථයි

යාපනය අර්ධද්වීපයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනක පවුල් රැසකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි යාපනය දිසාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

කුඩා නිවාස හතකටද හානි සිදුවී තිබේ.

පවුල් හාරසිය විසි තුනකට අයත් වැසියන් දෙදහස් දෙසිය දහතුනකට (2213 ) උන්හිටිතැන් අහිමි වී ඇතැයි යාපනය අතිරේක දිසාපතිනි රෑබන් වර්ණා පැවසුවාය.

විපතට පත්වූ වැසියන් ඔවුන්ගේ නිවෙස් වලින් ඉවත් කොට ඔවුන්ට අවශ්‍ය ආහාර සැපයීමට කටයුතු යොදා අති බව ඇය සඳහන් කළාය.

ඊයේ අඟහරුවාදා දිනයේත් අධික වර්ෂාව පැවති බවයි අප වාර්තාකරු දිනසේන රතුගමගේ පැවසුවේ.

මෙම වැසියන් විපතට පත් වී ඇත්තේ වර්ෂා ජලය නිවෙස් තුළට ගලා ඒම නිසා බවත් ජලයෙන් යට වූ නිවාස කඩා වැටෙතැයි යන බිය නිසා ජනතාව ඉවත් කළ බවත් අතිරේක දිසාපතිවරිය වැඩි දුරටත් කියා සිටියාය.