එජාපය සහ ජවිපෙ මැතිවරණ කොමසාරිස් හමුවෙති

Image caption එජාප නියෝජිත පිරිස මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමෙන් පසු

එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් අද උදසන මැතිවරණ කොමසාරිස්වරයා වෙන වෙනම මුණගැසුණු අතර ජනාධිපතිවරණ දිනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කළ බවයි එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මන්ත්‍රීවරයා හමුවෙන් අනතුරුව මාධ්‍යට පවසා සිටියේ.

'ව්‍යවස්ථාවට අපහාසයක්'

" ජනාධිපතිවරණය නොවැම්බර් 20 වෙනිදා කැදවල මැතිවරණය 8 වැනිදා පවත්වන්න යනවා කියල විවිධ ආරංචි පැතිරෙනවා, මේක අපි දකින්නේ ව්‍යවස්ථාවට කරන අපහාසයක් විදිහට, මොකද මැතිවරණයක් අවශ්‍ය බව නිවේදනය කරන්න රජයට පුළුවන් හැබැයි දිනය තීරණය කල යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයා විසින්" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

රජයේ අමාත්‍යවරුන්ට මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ කිසිදු ප්‍රකාශයක් කිරීමට නීතිමය බලයක් නොමැති බව පැවසූ කරු ජයසුරිය මන්ත්‍රීවරයා ඒ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයා ට පැමිණිලි කල බවයි ප්‍රකාශ කළේ.

'නීතිමය බලයක් නැහැ'

ඊයේ කොලඹ දී මාධ්‍ය හමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රශ්න කලේ ජනාධිපතිවරයාගේ නක්ෂත්‍ර කරුවන්ට අවශ්‍ය පරිදි ජනවාරි මස නව වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සුදානම් වන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳ ව මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කළ බවයි.

'නැවත තරඟ කරන්න බැහැ'

" වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂට මේ ව්‍යවස්ථාවට අනුව නැවත තරග කරන්න හැකියාවක් නැහැ අපි ඒක මැතිවරණ කොමසාරිස්වරයාට පෙන්වා දුන්නා" යනුවෙන් ඔහු පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂට තම වසර 4 ක නිල කාලය සම්පුර්ණ වු විට මැතිවරණයක් කැඳවිය නො හැකි බව ද ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාට පෙන්වා දුන් බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.