ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආණ්ඩුවට සහන 'ලබා දෙන්න පුළුවන්'

රාජ්‍ය සේවකයන්ට ලබා දුන් වැටුප් වැඩිවීම සහ කුඩා ව්‍යාපාරවලට දී තිබෙන සහන මෙවර අයවැයේ කැපී පෙනෙනම අංග ලෙසින් සැලකිය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

විශේෂයෙන්ම ලෝක වෙළඳපොලේ තෙල් මිල සහ වෙනත් අමුද්‍රව්‍යවල මිල පහත වැටීම හමුවේ එම සහන ලබා දීමට ආණ්ඩුවට අවස්තාව උදා වී තිබෙන බවයි, ජනාධිපති මහින්ද රාජපක්ෂ සිකුරාදා ඉදිරිපත් කළ අයවැය පිළිබඳව විග්‍රහයක යෙදෙමින් ලංකා බිස්නස් ඔන්ලයින් වෙබ් අඩවියේ අසන්ත සිරිමාන්න සංදේශයට කියා සිටියේ.

කෙසේ නමුත් ඉදිරි වසරේ ලෝක ආර්ථිකයේ ප්‍රවණතා මත එම සහන ලබාදීම රැඳී පවතින බවද ඔහු කියා සිටියේය.

විවෘත ආර්ථික රටාවක් පැවතුනත් සීමිත මිල පාලනයක් පවතින බැවින් ලෝක වෙළඳපොලේ මිල අඩු භාණ්ඩවලින් අය කරන බදු මගින් එම සහන ලබාදීම පිණිස මුදල් උපයාගත හැකි බවයි, ඔහු පවසන්නේ.

කෙසේ නමුත් පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා දෙදෙනාම ආරක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී අර්බුදකාරී වාතාවරණයක් මතුවිය හැකි බවත් අසන්ත සිරිමාන්න පවසයි.

"ඒක පරස්පර විරෝධී දෙයක්නේ. එතකොට වෙන්නේ කොහෙන් හෝ වෙන තැනකින් බඩු අරන් කාට හරි දෙන්න තමයි වෙන්නේ," යනුවෙන්ද ඔහු පැවසීය.

විශේෂයෙන්ම ඇතැම් භාණ්ඩවලට සහතික මිලක් ලබා දීම මගින්ද ගැටළු මතුවිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.