අවම වැටුපවත් නොගෙවූ ඇමෙරිකානු සමාගමට දඬුවම්

Image copyright Getty Images

කැලිෆෝනියාවේ පිහිටි ‘ඉලෙක්ට්‍රොනික් ෆෝ ඉමේජින්’සමාගම එහි සේවය කළ ඉන්දියානු ශ්‍රමිකයන් අට දෙනකුට වැඩ පැයක් සඳහා ගෙවා ඇති වැටුප ඇමෙරිකානු ඩොලර් එකයි ශත විසි එකක් බව හෙළිදරව් වී ඇත.

අතිකාල දීමනා වලින් ද තොර එම සේවකයන් සතියකට පැය 122 ක් වැඩෙහි නිරත කොට ඇති බවත් වාර්තා වෙයි.

කැලිෆෝනියාවේ ශ්‍රමිකයකුට පැයක් වෙනුවෙන් ගෙවිය යුතු වැටුප ඇමෙරිකානු ඩොලර් අටකි.

එම කම්කරු නීතිය උල්ලංඝනය කර ඇති 'ඉලෙක්ට්‍රොනික් ෆෝ ඉමේජින්’’සමාගම පවසන්නේ' එය සිතා මතා සිදු කළ අතපසු කිරීමක් නොවන’ බවයි.

එහෙත් ඔවුන් නීතිය උල්ලංඝනය කර ඇති බව කම්කරු නිලධාරීන් විසින් සොයා ගනු ලැබීමෙන් පසුව, සේවකයන්ට ඩොලර් 43,000 කට අධික මුදලක් වන්දි වශයෙන් ගෙවීමට මුද්‍රණ තාක්ෂණ ආයතනයක් වන ‘ඉලෙක්ට්‍රොනික් ෆෝ ඉමේජින්’ ආයතනයට සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ දක්වා එම සමාගම සේවකයන්ට ගෙවා ඇත්තේ ඉන්දියාවේ ‘බැංගලෝර්’ නගරයේ සේවකයකුට ගෙවන සාමාන්‍ය වැටුපට සමාන වැටුපක් බවයි වාර්තා වලින් පැවසෙන්නේ.

සාමාන්‍යයෙන් පැය හතළිහ ඉක්මවා සේවය කරන ශ්‍රමිකයකුට යටත් පිරිසෙයින් අවම වැටුපවත් ගෙවිය යුතු ආකාරයටයි ඇමෙරිකා එක්සත් ජනපදයේ නීති සකස් කොට තිබෙන්නේ.

ඇමෙරිකානු කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර දිස්ත්‍රික් අධ්‍යක්ෂ මයිකල් ඊස්ට්වූඩ් එක්සත් පුවත් සේවයට පවසා ඇත්තේ, මෙය ලොස් ඇන්ජලීස් ශ්‍රම වෙළෙඳ පොළේ තමා දුටු සිදුවීම් අතරින් නරකම සිද්ධියක් වන බවයි.