'මහාමාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ තමයි අපිට කතා කරලා කිවුවේ එයාලගේ වාහනයේ පෝස්ටර් තියෙනව කියල'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අතුරුදහන්වූවන් සැමරීමට එරෙහිව නිර්නාමික පෝස්ටර්

ගතව ගිය වසර 24 ඇතුලත උතුරේදීත්, දකුණේ දීත් අතුරුදහන් වූ පිරිස සැමරීමේ උත්සවයක් සඳුදා පැවැත්වීමට සූදානම් කොට තිබියදී එයට එරෙහිව රට පුරාම නිර්නාමික පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කොට තිබෙන බව සංවිධායකයෝ පවසති.

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් තොරව මෙවැනි ව්‍යාපාරයක් දියත් කළ නොහැකි බව පවසන කලාපේ අපි සංවිධානයේ බ්‍රිටෝ ප්‍රනාන්දු, කවර තර්ජන එල්ල වුවත් අතුරුදහන් වූවන් වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරීමට නොපැකිලෙන බව අවධාරණය කළේය.

"පාරේ ක්‍රියාකාරී වෙන අපේ සහෝදරයන්ගේ ගෙවල් අවට විශේෂයෙන් තෝරලා ඒක අලවල තියෙනව. මහාමාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ තමයි අපිට කතා කරලා කිවුවේ එයාලගේ වාහනයේ පෝස්ටර් තියෙනව, එයාලට බටා ලැබෙනවා කියල," යනුවෙන් ඔහු සඳහන් කළේය.

'ජනාධිපතිත් ආවා'

"ආණ්ඩුවේ සහාය නැතිව නිර්නාමික පෝස්ටර් ඔය වගේ සංවිධානාත්මකව අලවන්න බැහැ. විශේෂයෙන් හමුදාවල්වල සහාය ඕනේ. මොකද මේ ටිකේ පෝස්ටරයක් අලවන කොට පොලිසිය ටිකක් විපරමින් බලනවා."

ආණ්ඩුවට එරෙහිව පෝස්ටර් ඇලවීමට විරුද්ධ මතධාරීන්ට අයිතියක් තිබෙන්නේ නම් විපක්ෂ ක්‍රියාකාරිකයන්ට එරෙහිව පෝස්ටර් ඇලවීමට වෙනත් කිසිවෙකුට අයිතියක් නැතිදැයි සංදේශය විමසූ අවස්ථාවේ බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ, තමන්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන නමුත් එය කළ යුත්තේ පවතින නීත්‍යානුකූල රාමුව යටතේ බවයි.

මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන අතරම සඳුදා පැවැත්වෙන සමරු උත්සවයට ආරක්ෂාව ලබා දෙන මෙන් පොලිසියෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් 2006 දී එවකට ධීවර අමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ පවා මෙම සමරු උත්සවය ඇමතු බව සිහිපත් කරන බ්‍රිටෝ ප්‍රනාන්දු, තමන්ට විරුද්ධව සංවිධානාත්මක පෝස්ටරය ඇලවෙන ප්‍රථම අවස්තාව මෙය බවත් පැවසීය.

"අපිත් එක්ක ඒකට වැඩකරපු, අතුරුදහන්වීම්වලට විරුද්ධ වෙච්ච, සිවිල් සංවිධානවල මුදල්වලින් ජිනීවා ගිය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවක් යටතේ ප්‍රථම වතාවට තරජ්නාත්මක ආකාරයේ පෝස්ටරයක් ඇලවෙන්නේ," යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.