ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මව්වරුන්ට 'අඬන්නත් බැහැ' - බ්‍රිටෝ ප්‍රනාන්දු

උතුරේ සහ නැගෙනහිර මව්වරුන්ට තම අහිමි වූ දරුවන් මතක් කර අඬන්නත් නොහැකි වාතාවරණයක් එදා අතුරුදහන් වෙනුවෙන් හඬ නැගූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ අද උදා වී ඇති බව 'කලාපේ අපි' සංවිධානයේ බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි.

ගත වූ වසර විසිහතර ඇතුළත උතුරේ සහ දකුණේ අතුරුදහන් වූ පිරිස් සැමරීම සඳහා සංවිධානය කර තිබූ උත්සවය අමතමින් බ්‍රිටෝ ප්‍රනාන්දු මේ බව කියා සිටියේය.

එවකට ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ දෙදහස් හය වසරේ සංවිධානය කළ උත්සවයට සහභාගී වූ බවත් ඔහු සිහිපත් කළේය.

‘ එදා දෙදහස් හයේ ධීවර ඇමති විදිහට මේ ස්ථානෙට ඇවිල්ලා අතුරුදහන් වීමක් සිද්ධ වුනොත් දේශපාලනයෙන් ඉවත් වෙනවා කියපු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව යටතේ අපි එදාටත් වඩා බරපතළ ලෙස බියවැද්දීම්, මරණ තර්ජන සහ අනෙකුත් කරදර වලට මුහුණ දෙමින් ඉන්නවා’ යනුවෙන් ඔහු කියා සිටියේය.

මව්වරුන්ට තම අතුරුදහන් වූ දරුවන් හා ස්වාමිපුරුෂයා සිහිපත් කර කනගාටු වීමටත් නොහැකි තත්වයක් පවතින බවත් බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි.

‘අම්මලට තමන්ගේ දරුවෝ ගැන තමන්ගේ කසාද බැඳපු මිනිහා ගැන අතුරුදහන් වෙච්ච දුක වෙනුවෙන් අඬන්න බැහැ. ඒ අඬන හැම හැඬුමක්ම ආණ්ඩුවට ඇහෙනවා එහේ ඉන්න ආරක්ෂක අංශය හරහා’ යැයි කලාපේ අපි සංවිධානයේ බ්‍රිටෝ ප්‍රනාන්දු පැමිණ සිටි පිරිස අමතමින් කියා සිටියේය.