හෙළ උරුමයේ තීන්දුව තවමත් අපැහැදිලියි

Image copyright Nishantha Sri Warnasinghe

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව මණ්ඩලය සමග පැවති සාකච්ඡාවේදී තම පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවලිය සුභවාදී අන්දමින් භාර ගත් බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ බීබීසීයට කියා සිටියේය.

යෝජනාවලියේ ක්‍රියාත්මක කළ හැකි ප්‍රමුඛත්වය ලැබෙන යෝජනා එහිදී හඳුනා ගත් බව හෙළ උරුමයේ ජාතික සංවිධායකවරයා පැවසුවේය.

සාකච්ඡා ඉදිරියටත් පවත්වා ගෙන යාම සඳහා පක්ෂ දෙක නියෝජනය කරමින් කමිටුවක් පත් කර ගත් බවත් පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ සඳහන් කළේය.

ජාතික හෙළ උරුමය දෙවන වතාවටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව මණ්ඩලය සමඟ සාකච්ඡාවක නිරත වුණේ.

අපැහැදිලියි

අරලියගහ මන්දිරයේ පැවති එම සාකච්ඡාවට හෙළ උරුමය නියෝජනය කරමින් චම්පික රණවක, උදය ගමන්පිළ, එම පක්ෂයේ සභාපති පුජ්‍ය අතුරුලියේ රතන හිමි ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක් වූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සුසිල් ප්‍රේමජයන්ත, මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, ජෝන් සෙනවිරත්න සහ බැසිල් රාජපක්ෂ යන අමාත්‍යවරු සාකච්ඡාවට සහභාගී වී සිටියහ.

මේ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමය ගනු ලබන තීන්දුව තවමත් අපැහැදිලි තත්වයකයි පවතින්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර