ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එජාප මන්ත්‍රීවරුන්ට ඇප

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයට අයත් භූමියකට ඇතුල් වී එහි සිටි සේවකයන් කණ්ඩායමකට පහර දුන් බවට චෝදනා එල්ල වී ඇති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායම ඇප මත මුදා හරින මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හතර දෙනා ඇතුළු චූදිතයන් හය දෙනා රුපියල් ලක්ෂ දහයක පුද්ගලික බැඳුම් කර මත මුදා හරින ලද බවයි අධිකරණ වාර්තා මගින් පැවසෙන්නේ.

ඇප නියම කරමින් අදහස් දැක් වූ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ රාජ්‍ය ආයතනයකට ඇතුල් වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය අනුගමනය කරන ලද්දේ නම් මෙවැනි ප්‍රශ්නයක් මතු නොවන බවයි සඳහන් කළේ.

රවී කරුණානායක , අජිත් .පී. පෙරේරා, නලින් බණ්ඩාර,ආර්.යෝගරාජන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනයි පහර දීමේ චෝදනා ලැබ සිටින්නේ.

එහෙත් පොලිසිය එල්ල කරන එකී චෝදනා ප්‍රතික්ෂේප කරන චූදිත මන්ත්‍රී රවී කරුණානායක පවසන්නේ, තම පිරිස අදාළ ස්ථානයේ සිටි පිරිසට පහර දුන් බවට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

ගැහුවේ අපට

‘අදාළ ස්ථානය වරාය අධිකාරියට අයිති භූමියක්. එය මැතිවරණ කටයුතු සඳහා නීති විරෝධී ලෙස භාවිතා කරන බවට අපට තොරතුරු ලැබුනා.ඒ නිසයි අපි එම ස්ථානය පරීක්ෂා කිරීමට ගියේ. එහි දී අපට සහ අපේ වාහනවලට පහර දුන්නා. අපට පහර දුන් පුද්ගලයින් අධිකරණය ඉදිරියට ගෙන ඒමට පොලිසිය අසමත් වෙලා තිබෙනවා’ රවී කරුණානායක මන්ත්‍රීවරයා චෝදනා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මේ ආකාරයෙන් රාජ්‍ය ආයතනවලට ඇතුළු වී පරීක්ෂා කිරීමට බලයක් තිබේ දැයි විනිසුරු තිලින ගමගේ විමසූ අවස්ථාවේ චූදිත පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට අනුව එවැනි වැටලීම් සිදු කිරීමට මන්ත්‍රීවරුන්ට ඉඩකඩ පවතින බවයි.

‘අපි ක්‍රියාත්මක කළේ මහජනතාව අපට ලබා දුන් බලය. යම් රාජ්‍ය ආයතනයක දූෂණයක් සිදු වනවා නම් ඒ පිළිබඳ ව සොයා බැලීමට මන්ත්‍රීවරුන්ට බලයක් තිබෙනවා. පොලිසිය මේ හදන්නේ අපේ දූෂණ විමර්ශන ක්‍රියාදාමය අඩපණ කරන්න. ඒත් මෙවැනි ක්‍රියාවලින් අපි බිය වන්නේ නැහැ. ලබන සතියේත් අපි මෙවැනි කටයුත්තක නිරත වෙනවා’ මන්ත්‍රීවරයා කියා සිටී.

මේ අතර පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, සැකකාර මන්ත්‍රීවරුන් හතර දෙනාගෙන් කට උත්තර ලබා ගැනීමට අවශ්‍ය බවයි.

කට උත්තර පාර්ලිමේන්තුවේ දී

ඒ අනුව හෙට අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් අදාළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.

අනතුරුව මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප නියම කිරීමට සුදානම් වූ අවස්ථාවේ ඊට විරෝධය පළ කළ විත්තියේ නීතිවේදීහු සැකකරුවන් වගකිවයුතු පුද්ගලයින් බැවින් ඔවුන් කොන්දේසි රහිත ව මුදා හරින මෙන් ඉල්ලා සිටියහ.

එහෙත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ඔවුන් රුපියල් ලක්ෂ දහය බැගින් වූ පුද්ගලික බැඳුම් කර මත මුදා හරින බවයි.

මී ළඟ නඩු විභාගය දෙසැම්බර් දහ වෙනි දිනට කල් තැබුණි.