අයවැයට කැරට් ගෙනාවේ 'වෛද්‍ය උපදෙස් මතයි'

දෙදහස් පහළොව වසර සඳහා වන අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළට කැරට් අල ගෙන ආවේ දේශීය වෛද්‍ය උපදෙසක් මත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

වෛද්‍ය උපදෙසක් මත තමා කැරට් ළඟ තබා ගන්නා බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

'මට දේශීය වෛද්‍යවරයෙක් උපදෙස් දීලා තියනවා උදේ හවස කැරට් අලේ ගානේ කන්න කියලා. මම ඒ බව පාර්ලිමේන්තුවටත් කියා සිටියා’ යනුවෙන් මන්ත්‍රීවරයා පැවසුවේය.

අය වැය ඉදිරිපත් කළ දිනයේ පාර්ලිමේන්තු සභා ගැබට කැරට් අල ගෙන ගියේ කෙසේදැයි සොයා බැලීම සඳහා ආරම්භ කර ඇති පරීක්ෂණය සම්බන්ධයෙන් සංදේශය තොරතුරු විමසා සිටි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

මිනී පෙට්ටි

‘පාර්ලිමේන්තු සම්ප්‍රදායේ කැරට් විතරක් නෙමෙයි මිනී පෙට්ටි ගෙනාපු අවස්ථාත් තියනවා සභා ගැබට. ඊට අමතරව බෝම්බ ගහලා තියනවා. ඉතින් මේක මහා බරපතළ දෙයක් වශයෙන් දැකීමේ අවශ්‍යතාවක් නැහැ’ යැයි පවසමින් මන්ත්‍රීවරයා අතීතය සිහිපත් කළේය.

දෙදහස් පහ වසරේ සිට ඉදිරිපත් කළ අයවැය සියල්ලෙහි ඉෂ්ට නොකළ පොරොන්දු තිබූ බව තමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව කියා සිටින මන්ත්‍රීවරයා මැතිවරණයක් ඉලක්ක කර මෙවර ඉදිරිපත් කෙරෙනු අයවැය කැරට්වලින් පිරුණු අයවැයක් ලෙස හඳුන්වයි.

‘ගණන් මිනුම් වලින් කියනවාට වැඩිය සරල දේකින් කිව්වහම මිනිස්සුන්ට ඒ දේ තේරෙනවා. ඒ නිසා තමයි අයවැය ලේඛනය උඩ කැරට් අල කිහිපයක් තියලා මම ඒ දේ පෙන්නුවේ’ යනුවෙන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

ඉහත කී සිදුවීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිවෙක් තමාගෙන් විමසීමක් කර නොමැති බවත් මන්ත්‍රීවරයා පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර