ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කොස්ලන්ද නායයාම: තවත් සිය ගණනක 'ජීවිත අනතුරේ'

නායයාමේ බරපතල අනතුරක් පවතින කලාපයක් ලෙසින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නම් කරනු ලැබ තිබෙන කොස්ලන්ද අවට ගම්මාන ගණනාවක වෙසෙන තවත් සිය ගණනක ජීවිත අහිමි වීමේ අනතුරක් පවතින බව ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.

විශේෂයෙන්ම බෙරගල, හල්දුම්මුල්ල, කළුපහන, බත්ගොඩ සහ නාකැටිය ඇතුළු ගම්මාන ගණනාවක වෙසෙන වතුකර දෙමළ ජනතාවටට එම ප්‍රදේශවලින් ඉවත් වන මෙන් දැනුම් දී තිබෙන බව බණ්ඩාරවෙල වෙසෙන මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා බීබීසී සංදේශයට පැවසීය.

මේ එක් ගම්මානයක අඩුම තරමින් දිළිඳු පවුල් 25 ක් වත් වෙසෙන බව ඔහුගේ තක්සේරුවයි.

ඔවුන්ට සිය ගම්මානවලින් ඉවත් වන මෙන් දැනුම් දී තිබුනත් ඒ සඳහා ප්‍රදේශවාසී ජනතාවට උපකාර කිරීමට, එය සම්බන්ධීකරණය කිරීමට හෝ ජනතාවට විකල්ප ඉඩම් ලබාදීමට දේශපාලන සහ වතු බලධාරීන් උත්සුක නොවූ බවත් ඔහු සඳහන් කරයි.

'යන්න තැනක් නෑ'

"හල්දුම්මුල්ලේ ජනතාව කිවුවේ අපිට දීපු ඉඩම්වල අපේ ජීවිකාව කරගන්න බෑ කියල," යනුවෙන් ලසන්ත ද සිල්වා කියා සිටියේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

Image caption නායයාමෙන් අනතුරුව 300 කට අධික පිරිසක් අතුරුදහන්ව සිටිති

බදාදා උදෑසන කොස්ලන්දේ හටගත් නායයාමෙන් අනතුරුව තුන් සියයකට අධික පිරිසක් අතුරුදහන්ව සිටින බවයි, බලධාරීන් පවසන්නේ.

නායයාම හටගත් ගම්මානයේ වැසියන්ට එම ස්ථානයෙන් ඉවත් වන මෙන් මීට ඉහතදී කිහිපවතාවක්ම, විශේෂයෙන්ම 2005 දී සහ 2012 දී, අනතුරු අඟවා තිබුණු බවද ඔහු කියා සිටියේය.

"අනතුරු අඟවන්න හේතුව තමයි මීට පෙර නායයාම් කිහිපයක් මේ තදාසන්න ප්‍රදේශයේ සිදුවීම. ඒ අනතුරුවලින් පස්සේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පරීක්ෂණ පවත්වලා තමයි මේ නිගමනයට එළඹිලා තිබුණේ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

මීට ඉහතදී නාකැටියේ දැවැන්ත නායයාමක් සිදු වූ බව පෙන්වා දෙන ඔහු, කොස්ලන්ද අවට ප්‍රදේශය නායයාම් බහුල කලාපයක් ලෙසින් කලක සිටම හඳුනාගෙන තිබූ බව ද සඳහන් කරයි.

විශේෂයෙන්ම එවකට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා වූ වඩිවේල් සුරේෂ් හමු වී තමන් මුහුණ පා සිටින ඉරණම දැනුම් දී උපකාර පතා සිටි බව ප්‍රදේශවාසීන් ඔහුට පවසා තිබේ. ඒ පිළිබඳව පියවර ගනිමින් සිටින බවයි, හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රතිචාරය වී තිබෙන්නේ.

මේ පිළිබඳව විමසීම පිණිස වඩිවේල් සුරේෂ් පළාත් සභා මන්ත්‍රීවරයා සහ සෙන්දිල් තොන්ඩමාන් පළාත් සභා ඇමතිවරයා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.