ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කොස්ලන්දේ නාය යාමෙන් විශාල ජීවිත විනාශයක්

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ අද බදාදා (29) උදෑසන හතත්- හතයි තිහත් අතර සිදු වූ නායයෑමකින් තුන්සිය දෙනකුවත් පණ පිටින් වැල ලී යන්නට ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

නායයෑමට ලක් ව ඇත්තේ කොළඹ මඩකලපුව ඒ- හතර ප්‍රධාන පාරේ කොස්ලන්ද දෙමළ විදුහල අසලින් දකුණට යන මාර්ගයේ කිලෝ මීටර් තුනක් පමණ ගිය විට හමු වන වතු නිවාස පේළියකි.

අක්කර දහයක පමණ ප්‍රදේශයක් නායයෑමට ලක් ව ඇති අතර ඊට ගොදුරු වී තිබෙන්නේ වතු නිවාස අට බැගින් වූ පේලි නිවාස අටකි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ අනතුරින් තුන්සීයකට අධික සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බවයි.

මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව නිශ්චිතව පැවසිය නොහැකි බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

අඩි පහළොවක පස් තට්ටුවක්

ලයින් කාමර පේළි නාය යෑමත් සමග කිලෝමීටර් දෙකක් පමණ දුරකට ඇදී ගොස් අඩි පහළොවකටත් වඩා උස පස් තට්ටුවකින් වැසි ඇති බවයි අනතුර දුටු පුද්ගලයන් පවසන්නේ.

ඊයේ සහ පෙරේදා වැසි ඇද හැළුණු නමුත් නායයෑම සිදු වන අවස්ථාවේ වැසි රහිත යහපත් කාලගුණයක් තිබුණ බවත් ප්‍රදේශවාසීහු පවසති.

නායයෑම සිදු වන අවස්ථාවේ විනාශයට පත් නිවාස සියල්ලේ ම මෙන් ස්ථිර පදිංචිකරුවන් සිටින්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

මුලින් පස් කඳු කිහිපයක් කඩා වැටී ඇති අතර එය බලන්නට පිටින් ගිය කිහිප දෙනෙක් ද, පාසල් යමින් සිටි ළමයින් පිරිසක් ද අතරමග දී නායයෑමට හසු වී පණ පිටින් වැළලෙන්නට ඇතැයි පැවසෙයි.

මියගිය කීප දෙනෙකුගේ සිරුරු දහවල් වන විට ගොඩ ගෙන කොස්ලන්ද රෝහලේ තැන්පත් කර තිබුණි.

මළ සිරුරු රෝහලේ

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආපදා කළමනාකරණ සහන සේවකයන්, ස්වේච්ඡා සේවකයන්, අවට වැසියන්, අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු වල නිරත වී සිටිති. සවස් වන විට ඇති වෙන ඝන මිදුම පිරික්සුම් කටයුතුවලට බාධාවක් නො වුනොත් දිගටම සෙවීම් කටයුතු කර ගෙන යන බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

නායයෑමේ දී තුවාල ලැබ දිවි බේරුණ ආර්. මහේන්ද්‍රන් පවසන්නේ උදේ හතට පමණ විශාල පිපිරීමක් ඇසුණ බවයි.

‘ඒක විශාල ශබ්දයක්. ඒ වගේම ඒක අමුතු හඬක්. සද්දෙ ඇහෙන කොටම මම දිව්වා.ඒ එක්ක මම බිම වැටුණ. මගෙන් භාගයක් මඩෙන් වැහිලා ගියා’ ආර්. මහේන්ද්‍රන් පවසයි.

තවත් වතු කම්කරු කාන්තාවක් කඳුළු සලමින් කියා සිටියේ සිය දරුවන් හතර දෙනාට සිදු වූ දෙයක් තවමත් දැන ගන්නට නොමැති බවයි.

‘මම බේරා ගන්න කොට මගේ සිරුරින් භාගයක්ම මඩෙන් වැහිලයි තිබුණේ.මෙතන ලයින් කාමර 128 විතර තිබුණ. දැන් එයින් එකක් වත් පේන්න නැහැ’ එම කාන්තාව පවසන්නීය.