මීරියබැද්දේ මියගියේ පනහකට ආසන්න පිරිසක් - තොන්ඩමන්

Image caption තොන්ඩමන් ඇමතිවරයා (දකුණේ)ජනාධිපතිවරයා සමඟ මීරියබැද්දේ.

මීරියබැද්ද නාය යෑමේදී ඊට ගොදුරු වෙන්නට ඇත්තේ පනහකට ආසන්න පිරිසක් පමණක් යයි තමා අදහස් කරන බව ලංකා වතු කොංග්‍රසයේ නායක,පශු සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ බීබීසී දෙමළ සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බ්‍රහස්පතින්දා (30) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, මීරියබැද්ද නායයෑමෙන් පුද්ගලයන් එක සිය අනූ දෙදෙනකු අතුරුදහන් වී ඇති බවයි.

‘හතළිස් පහත් පනහත් අතර පිරිසක් නායයෑමට යට වෙන්නට ඇති කියල අපි හිතනවා , හමු වුන මළසිරුරු පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් නැහැ, දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව නිසා අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු වලට අද බාධා එල්ල වුණා’ ඇමතිවරයා සඳහන් කළේය.

ඇත්ත දන්නේ නැහැ

අදාළ ප්‍රදේශයේ නායයෑමේ තර්ජනයක් ඇති බව කලින් හඳුනා ගෙන තිබුණා නම් එම ප්‍රදේශයේ ජනතාවට විකල්ප ඉඩම් ලබා දී ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර නොගත්තේ කුමක් නිසාදැයි බීබීසිය ආරුමුගම් තොණ්ඩමන් ඇමතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයා අද නියෝග කළ බවයි.

Image copyright Reuters

‘කලින් දැනුම් දුන්නා කියලා කියනවා, ඒ අතර තව පිරිසකට විකල්ප ඉඩම් දීල ඔවුන් ගියා කියනවා, මේකේ මොකක්ද ඇත්ත කියලා දන්නේ නැහැ, ජනාධිපතිතුමා අද ආපු වෙලාවේ කිව්වා, මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා’ ආරුමුගම් තොන්ඩමන් ඇමතිවරයා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ 2014 වසරේ අයවැය ඉදිරිපත් කරමින් වතුකරයේ ජනතාවට නිවාස 50,000 ක් ඉදි කරන බව කියා සිටි අතර, පසුගිය දා 2015 වසරේ අයවැය ඉදිරිපත් කරන විටත් එම නිවාස ඉදි කර නොමැති බව පෙන්වා දෙමින් ඊට හේතු විමසූ විට තොන්ඩමන් ඇමතිවරයා ප්‍රකාශ කළේ, ලබන නොවැම්බර් මාසයේ දී යෝජිත නිවාස ඉදිකිරීම ආරම්භ කරන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර