ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දේශමාමක ව්‍යාපාරයේ පෙත්සම ඉවතට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත ලිපියක් යැවීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව දේශමාමක ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද බ්‍රහස්පතින්දා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත ලිපියක් යවමින් රටට එරෙහිව ව්‍යාජ චෝදනා ඉදිරිපත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බවයි පෙත්සම් කරුවන් පවසන්නේ.

එම ලිපිය යැවූ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන මෙන් පෙත්සම් කරුවන් විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබුණි.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව එම මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පවරා දඬුවම් පැනවීමට හැකියාවක් පවතින බවද පෙත්සමෙහි සඳහන් කර තිබුණි.

එම පෙත්සම විභාගයට කැඳවූ අවස්ථාවේ දී කරුණු දැක්වූ නීතිපතිවරයා කියා සිටියේ අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව මේ දක්වා ශ්‍රී ලංකාවේ කිසිදු පොලිසියකට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.

ව්‍යාජ චෝදනා

එබැවින් පෙත්සම් කරුවන් ඉල්ලා සිටින ආකාරයේ නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි රජයේ නීතිවේදියා ප්‍රකාශ කළේ.

එම කරුණ පිළිගත් අධිකරණය විසින් පෙත්සම ප්‍රතික්ෂේප කළ කරනු ලැබුණි.

දේශමාමක ජාතික ව්‍යාපාරයේ කැඳවුම් කරු පි.ජි.ආර්.නිශාන්ත කියා සිටියේ තමන් අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.

පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ පැමිණිලි කර තිබුණේ උතුරු පලාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් නවනිදෙම් පිල්ලේ වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කර ඇති බවට අසත්‍ය චෝදනාවක් එල්ල කර ඇති බවයි.

එමෙන්ම රජයේ හමුදා දෙමළ ජනතාවට අයත් පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් අත් පත් කර ගන්නා බවට තවත් ව්‍යාජ පැමිණිල්ලක් කර ඇති බවයි පෙත්සම් කරුවන් පවසන්නේ.