කොස්ලන්ද: මළසිරුරු ගොඩනැගීම නවතියි?

Image caption බේරාගැනීමේ සහ සිරුරු ගොඩගැනීමේ මෙහෙයුම ඉතා අවදානම් බව ආණ්ඩුව පවසයි

කොස්ලන්ද, මීරියබැද්දේ නායයෑමට ලක්වු භූමියේ සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් නවතා දමන හැඩක් දක්නට ලැබෙන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

නායයාමට යට වූ අවසන් මළසිරුර සොයාගන්නා තෙක් මෙහෙයුම් සිදු කරන මෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල රජයෙන් ඉල්ලා සිටියේය.

"අපිට පේනවා ජාත්‍යන්තර ආණ්ඩු මේ වගේ ආපදා වුනාම, අවසාන මෘත දේහ ගොඩගන්නකන් අත්හරින්නේ නැහැ. මම රජයට කියන්නේ මේක අත් හරින්න එපා. අත් හරින ස්වභාවයක් පේනවා," යනුවෙන් ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්.

නායයාමෙන් මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු ඥාතීන්ට ලබාදීම ආණ්ඩුවේ වගකීමක් බව පැවසූ මන්ත්‍රීවරයා මළසිරුරු ගොඩගැනීමේ විශාල ප්‍රමාදයක් පවතින හැඩක් පෙනීයන බවද පැවසීය.

'ප්‍රමාදයක්'

"අවශ්‍ය සහනාධාර දෙන්න රජය මහන්සිවෙනවා. නමුත් දේහයන් ගොඩගැනීමේ විශාල ප්‍රමාදයක් තිබෙනවා. ඒකට අවශ්‍ය ශක්තිය රජයට තියෙනවද කියන එක ප්‍රශ්නයක්."

රජය වෙනුවෙන් මෙයට පිළිතුරු දෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ මෙහෙයුම් සිදුකිරීමට අදාළ තාක්ෂණික ගැටළු පැන නැගී ඇති බවයි.

"මෙතැන අවදානම් තත්වයක් තියෙනවා. මෙතන හාරන්න ගන්න කොට අර උඩ තියෙන පස් තට්ටුව එයි කියලා. ඒ නිසා බොහොම පරිස්සමෙන් කර ගෙන යන්නේ," යනුවෙන් ඇමතිවරයා පැවසීය.

එහිදී ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ අදාළ තාක්ෂණික පහසුකම් ජාත්‍යන්තර රටවල සහයෙන් ලබාගත යුතු බවයි.

මේ අතර විපතට පත්වූවන්ට සහන සැලසීම පිණිස මේ වනවිට ඩොලර් 50,000 ක ආධාරයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට ලබා දුන් බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.

එමෙන්ම අවතැන් වූ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වර්ල්ඩ්විෂන් ආයතනය මාර්ගයෙන් ලබාදෙමින් පවතින බවත් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර