ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මීරියබැද්ද සෝදිසි මෙහෙයුම් පෙරට

මීරියබැද්ද ඇතුළු නායයෑමේ අවදානමක් සහිත ස්ථානවල පදිංචිව සිටින ජනතාව එම ස්ථාන වලින් ඉවත් කොට ඔවුන්ට පදිංචියට සුදුසු ඉඩම් ලබා දීමට වතු හිමියන් පියවර නො ගත්තොත් නව පනතක් සම්මත කිරීම මගින් අවශ්‍ය ඉඩම් පවරා ගැනීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව ආපදා කළමනාකරණ කටයුතු භාර ඇමති මහින්ද අමරවීර පවසයි.

ඇමතිවරයා එම අදහස පළ කළේ බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී.

මීරියබැද්ද කලාපයේ නායයෑමක අනතුරක් පවතින බව වතු සමාගම්වල බලධාරීන්ට කල් තබා දැනුම් දී තිබුනත් ඔවුන් එය සැලකිල්ලට ගෙන නැති බවයි, ආපදා කළමනාකරණ කටයුතු භාර ඇමතිවරයා පවසන්නේ.

මීරියබැද්ද විපතින් අනාථ වී සිටින දරුවන් රජය භාරයේ තබා ගන්නා බව කියා සිටි මහින්ද අමරවීර ඇමතිවරයා, සුනාමියේ දී ලද අමිහිරි අත්දැකීම් අනුව ඥාතීන්ටවත් එම දරුවන් භාර නොදෙන බවයි කියා සිටියේ.

දරුවන් රජය භාරයේ

අඩි තිහක් පමණ උස නායගිය මඩ තට්ටුව ඉවත් කරමින් සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම ඉතා දුෂ්කර එසේම අනතුරුදායක එකක් වන නමුත් අතුරුදහන්වූවන් සෙවීමේ ප්‍රයත්නය අත්හැර නොදමන බවත් ඇමතිවරයා කියා සිටී.

මේ අතර මෙහෙයුම් භූමියේ සිට බීබීසියට ප්‍රකාශයක් කළ මේජර් ජනරාල් මනෝ පෙරේරා කියා සිටියේත් සෝදිසි මෙහෙයුම අත් නොහරින බවයි.

‘අන්තිම මළසිරුර සොයා ගන්නා තෙක් මෙහෙයුම නතර නොකරන බවයි’ මේජර් ජනරාල්වරයා කියා සිටියේ.

මේ අතර අද සිකුරාදා මෙහෙයුමේ දී තවත් එක මළසිරුරක් හමු වී ඇති බවයි, ප්‍රාදේශීය මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා බීබීසී සංදේශයට වාර්තා කළේ.

සෝදිසි මෙහෙයුම දුෂ්කර කාර්යයක් වන බව දක්නට ලැබෙන බව ප්‍රාදේශීය මාධ්‍යවේදියාත් පවසයි.

මළසිරුරු විශාල සංඛ්‍යාවක් එකවර හමු වුනොත් ඒවා සම්බන්ධයෙන් පියවර ගැනීමට ඇති පහසුකම් ප්‍රමාණවත් නොවන බව කොස්ලන්ද ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරී අසේන් එරන්ද උපුටා දක්වන මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා පෙන්වා දෙයි.

රනිල් මීරියබැද්දේ

මේ අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ඌව පළාත් සභාවේ නව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු සහ ජාතික සංවිධායක දයා ගමගේ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් කණ්ඩායමක් ද නායයෑම සිදු වූ මීරියබැද්ද ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.

සෝදිසි මෙහෙයුම පෙරට යමින් පවතින ආකාරය අගය කළ විපක්ෂ නායකයා ඇතුළු කණ්ඩායම කල් තබා අනතුරු ඇඟවීමක් සිදු කරනු ලැබ තිබියදීත් අවශ්‍ය පියවර නො ගැනීමේ දේශපාලන දුර්වලතාවය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කළ බවයි, එම සංචාරය වාර්තා කරමින් ලසන්ත ද සිල්වා පවසන්නේ.

අනාගතයේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් බලයට පත් වූ විට වතු කම්කරු ප්‍රජාවට ලයින් කාමර වෙනුවට වඩාත් සුරක්ෂිත වෙන් වෙන් තනි නිවාස ලබා දීමට පියවර ගන්නා බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම සංචාරයේ දී ප්‍රතිඥාවක් ද දී ඇත.