රතුපස්වල නඩුවෙන් ‘වෙනිග්‍රොස්’ නිදහස්

Image caption රතුපස්වල හමුදා ප්‍රහාරයට එරෙහිව.

රතුපස්වල ජල දූෂණය සම්බන්ධයෙන් පවරා තිබුණ නඩුවේ ප්‍රධාන විත්ති පාර්ශවයක් වූ ‘වෙනිග්‍රොස්’ කර්මාන්ත ශාලාව එම නඩුවෙන් මුදා හැරීමට ශ්‍රී ලංකා අභියාචනාධිකරණය අද තීන්දු කළේය.

සිය නෑ ජලය සුරැකීමේ සංවිධානය විසින් පවරා තිබුණ නඩුව මගින් කියා සිටියේ ‘වෙනිග්‍රොස්’ කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරකම් රතුපස්වල ජල දූෂණයට හේතු වූ බවයි.

අදාළ පෙත්සම විභාගයට කැඳ වූ අවස්ථාවේ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් දැනුම් දුන්නේ කර්මාන්ත ශාලාව වසා දමන බවට සමාගමේ නීතිවේදීන් අධිකරණයට ප්‍රතිඥාවක් දී ඇති බවයි.

‘වෙනිග්‍රොස්’ සමාගම රජයේ ආයතනයක් නොවන බැවින් එම ආයතනයට එරෙහිව නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව ප්‍රකාශ කළ අභියාචනාධිකරණය ඒ අනුව අදාළ සමාගම නඩු විභාගයෙන් නිදහස් කරන බවයි දැනුම් දුන්නේ.

නඩුව පෙරට

මේ අතර සිය නෑ ජලය සුරැකීමේ සංවිධානයේ කැඳවුම් කරු ප්‍රමිත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අදාළ සමාගම නඩුවෙන් නිදහස් කෙරුණත් ඊට අනුබල දුන් රජයේ ආයතනවලට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ගය තවදුරටත් පෙරට ගෙන යාමට තමන් බලාපොරොත්තු වන බවයි.

‘වෙනිග්‍රොස්’ සමාගම මුළුමනින් ම වසා දමා ඇති බව එහි නීතිවේදීන් අද අධිකරණයටදැනුම් දීම නිසා එම සමාගම නඩුවෙන් නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළා.එහෙත් අදාළ සමාගමට වසර විස්සක් පමණ ජලය දූෂණය කිරීමට ඉඩ දුන් මධ්‍යම පරිසර අධිකාරියට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට එරෙහිව අපි තව දුරත් නඩු කීමට බලාපොරොත්තු වෙනවා. මේ පරිසර දූෂණය සම්බන්ධයෙන් එම ආයතන වග කිව යුතුයි. ඒ නිසා පීඩාවට පත් ජනතාවට සහනයක් හිමි වන තුරු නඩු කීමට අපි බලාපොරොත්තු වෙනවා”සිය නෑ ජලය සුරැකීමේ සංවිධානයේ කැඳවුම් කරු ප්‍රමිත හෙට්ටිආරච්චි කියා සිටියි.

මෙම නඩුව නොවැම්බර් මස පස් වෙනි දින යළි කැඳවීමට අධිකරණය තීරණය කළේය.

එම දිනයේ නඩුවට අදාළ විරෝධතා ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන්

අභියාචනාධිකරණය ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරියට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නියම කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර