ජනාධිපතිවරණය ව්‍යවස්ථා විරෝධීයි - අනුර කුමාර

වසර හතරක් ධුර කාලය දැරීමෙන් අනතුරුව හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා හැකියාව ඇත්තේ ජනපතිවරයකුගේ පළමු ධුර කාලයේදී පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ව්‍යවස්ථාවට අනුව දෙවන වතාවට ජනපති පදවියට පත්වන පුද්ගලයා වසර හයම එම ධුරයේ රැඳී සිටිය යුතු බවයි අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියේ.

‘ජනතාව පෙළන පාලනයට එරෙහි වෙමු’ යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ රැස්වීම් මාලාවේ පළමු රැළිය ඉරිදා කන්තලේදී ආරම්භ කෙරුණු අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

‘ජේ ආර් ජයවර්ධන හැත්තෑ අටේ පෙබරවාරි හතර වෙනිදා දිවුරුම් දුන්නා. අසූ දෙකේ ජනාධිපති ඡන්දයක් තිබ්බා. දෙවැනි වර හයම ඉන්න ඕනි,අසූ අටේ තිබ්බා. චන්ද්‍රිකා මැතිනිය අනූහතරේ බලයට ආවා. අවුරුදු හතර ගෙවුනට පස්සේ අනූනවයේ ඡන්දයක් තිබ්බා. අනූනවයේ බලය අරගෙන අවුරුදු හයම දෙදහස් පහ වෙනකම් හිටියා’ යනුවෙන් පවසමින් ඔහු ඒ සඳහා ඉතිහාසයෙන් උදාහරණ ගෙන හැර දැක්වූවේය.

ලේ විලක්

රටේ ආර්ථිකය, නීතිය, සංවර්ධනය, ධනය සහ බලය යන සියල්ල රාජපක්ෂ පවුල වටා කේන්ද්‍ර කර ගෙන ඇති බවටද ජනතා විමුක්ති පෙරමුණේ නායකයා චෝදනා කළේය.

‘ව්‍යවස්ථාව සංශෝධනය කර ගෙන එන්න කරුණා කරලා. තුනෙන් දෙකේ බලය තියනවනේ. මොකටද ව්‍යවස්ථාව කඩන්නේ. කවුරුවත් අත උස්සන්නේ නැහැ දැන්. ඒක එයා දන්නවා දැන්. ඒක තමයි ව්‍යවස්ථාව කඩන්න හදන්නේ’ යැයි පැමිණ සිටි ගොවි ජනතාව අමතමින් ඔහු කියා සිටියේය.

‘අපි මෙතන රැස් වෙලා ඉන්න තමුන්නාන්සේලාගෙන් අහන්නේ. මේ රටේ ව්‍යවස්ථාව කඩලා යළි මේ රටේ නායකයා වෙන්න ඉඩ දෙනවද. ඉඩ දෙන්න බැහැ. ඒක අපේ රටේ ලේ විලක් බවට පවත්වන එක වළක්වන්න බැහැ. අපේ රට මහා ඛේදවාචකයකට ඇද දාන එක වළක්වන්න බැහැ’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රකාශ කළේය.

ජාතික හෙළ උරුමය ඇතුළු තවත් දේශපාලන පක්ෂ රැසක් සමග තම පක්ෂය සංවිධානගත වීමට සැලසුම් කරණුයේ යෝජිත ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලීමට බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක වැඩි දුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර