කොස්ලන්දෙන් හය වැනි මළ සිරුර ගොඩ ගනී

Image copyright Reuters
Image caption හමුදා භටයන් විසින් කර ගෙන යනු ලබන බේරා ගැනීමේ කටයුතු

කොස්ලන්ද මීරියබැද්දේ මළසිරුරු සෙවීමේ මෙහෙයුම කාලගුණයේ බාධා මැද දිගටම ක්‍රියාත්මක වන බවත් අද දිනයේදී (ඉරිදා) තවත් මළ සිරුරක් හමු වූ බවත් මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා සංදේශයට කියා සිටියේය.

මේ අනුව මෙතෙක් හමු වී ඇති මළ සිරුරු සංඛ්‍යාව හයක් දක්වා ඉහල ගොස් ඇති අතර තවත් තිස් දෙදෙනෙකු පිළිබඳව කිසිඳු හෝඩුවාවක් තවමත් දැනගන්නට ලැබී නැති බව බලධාරීහු පවසති.

නායයාමේ අවදානමට මුහුණ දී සිටින කොස්ලන්ද අවට ගම්වාසීන් 400 ක් පමණ මේ වන විට කඳවුරු 21 ක නවතා සිටින බවද වාර්තාකරුවෝ පවසති.

අවට පෙදෙස් යළි නාය යාමේ අවදානමක් පවතිද්දී පවා හමුදා භටයන් විසින් කර ගෙන යනු ලබන බේරා ගැනීමේ කටයුතු සහ කැනීම් කටයුතු ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීරගේ පැසසුමට ලක් විය.

Image copyright Mahinda Amaraweera
Image caption ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර

තවමත් පවතින වැසි සහිත අයහපත් කාලගුණය මෙම කැනීම් කටයුතු සඳහා ප්‍රධානතම බාධකය වී ඇති බවද සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමක දී ඇමතිවරයා සඳහන් කළේය.

අවතැන් වුවන් වෙනුවෙන් අලුත් ඉඩම් ලබා දීම සඳහා කාර්ය භාර බලධාරීන් දැනටමත් කටයුතු කරමින් සිටින බවයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර