ජනපතිවරණය තිබුණත් පාප් වහන්සේ එනවා - රදගුරුවරු

Image copyright rincomaleediocese.info
Image caption "තුන් වෙනිදා හරි හතර වෙනිදා හරි නම් බොහොම හොඳයි. මොකද ඊට පස්සේ පාප් තුමාගේ සංචාරයට දවස් දහයක් විතර තියෙනව නේ?"

ලබන වසරේ ජනවාරි මාසයේ මුල භාගයේ ජනාධිපතිවරණයක් පැවැත්වුණත්, ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ වෙනසක් වනු නැති බව රදගුරුවරු පවසති.

ත්‍රිකුණාමල රදගුරු කිංග්ස්ලි ස්වාමිපිල්ලේ හිමියන් ඒ බව කියා සිටියේ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සංචාරය පිළිබඳව විදේශ අමාත්‍ය ජීඑල් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වුණු රැස්වීමකට සහභාගි වී ආපසු යන අතරවාරයේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වතිකානයේ නියෝජිතයන් තිදෙනෙක්, මැල්කම් රංජිත් කාදිනල්තුමා, සියලුම රදගුරුවරු, අමාත්‍යංශ ලේකම්වරු සහ ආරක්ෂක අංශ බලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටි එම සාකච්ඡාවේදී එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව අවධානය පළ නොවූ බවත් එහිමියෝ සඳහන් කළහ.

"සාකච්ඡාව බොහොම සුහදව පැවැත්වුනා. පාප් වහන්සේගේ සංචාරය කිසිදු බාධාවකින් තොරව සිදුවනු දකින්න ඔවුන් ඉතා උනන්දුවෙන් බලා සිටින බව අපට තේරුනා. නමුත් මැතිවරණයක් ගැන කිසිවක් කතා කළේ නැහැ. මොකද මැතිවරණය පවත්වන දිනය නිවේදනය කරලා නැහැනේ?,"යනුවෙන්ද රදගුරු හිමියෝ පැවසූහ.

'සියල්ල සූදානම්'

ලබන වසරේ ජනවාරි මාසයේ නියමිත කාලයට පෙර ජනපතිවරණයක් පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා නිවේදනය කළේය.

Image copyright AP
Image caption "ඡන්දේ කවද පැවැත්වුනත් ඒක වැදගත් නැහැ; කිසිම බාධාවක් වෙන්නේ නැහැ, පාප් වහන්සේ පැමිණිය යුතුයි කියල තමයි ඔවුන් කිවුවේ"

ජනවාරි තුන් වැනි දින හෝ අට වැනි දින මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි, ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ.

"තුන් වෙනිදා හරි හතර වෙනිදා හරි නම් බොහොම හොඳයි. මොකද ඊට පස්සේ පාප් තුමාගේ සංචාරයට දවස් දහයක් විතර තියෙනව නේ? අට වෙනිදා හරි නමවෙනිද හරි පැවැත්වෙනවා නම් තමයි පොඩි ප්‍රශ්නයක් මතු වෙන්නේ," යනුවෙන්ද රදගුරු හිමියෝ පැවසූහ.

"ඡන්දේ කවද පැවැත්වුනත් ඒක වැදගත් නැහැ; කිසිම බාධාවක් වෙන්නේ නැහැ, පාප් වහන්සේ පැමිණිය යුතුයි කියල තමයි ඔවුන් කිවුවේ. අපට අවශ්‍ය වෙලා තියෙන්නෙත් කිසිම බාධාවකින් තොරව පාප් වහන්සේගේ සංචාරය සිදුවෙනවා දකින්නයි."

සැබවින්ම ජනවාරි මුල භාගයේ මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් එය වඩා යහපත් බව සියලු රදගුරුවරුන්ගේ මෙන්ම වතිකානයේ නියෝජිතයන්ගේද මතය වූ බවත් කිංග්ස්ලි ස්වාමිපිල්ලේ රදගුරු හිමියෝ පැවසූහ. එහෙත් මැතිවරණයක් ආසන්නයේ පාප් වහන්සේගේ සංචාරයක් සිදුවීම වතිකාන සම්ප්‍රදාය බිඳ දැමීමක් නොවේද?

සම්ප්‍රදායය බිඳීමක්?

"නෑ, නෑ, නෑ. එක්තරා කාලසීමාවක් ඇතුලත ඒක සිදුවෙනවා නම් ඒකෙ වරදක් නෑ. මෙතන දවස් දහයක් විතර තියෙනව නේ. කිසියම් ප්‍රචණ්ඩ ක්‍රියා හෝ බාධාවක් වෙනවා නම් ඒ වෙනකොට ඒවා සංහිඳිල තියේවි."

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සංචාරයෙන් කිසියම් පාර්ශවයක් දේශපාලන වාසි ලබාගැනීමේ හැකියාවක් තිබෙන්නේ නොවේදැයි විමසූ විට එහිමියන් කියා සිටියේ, බෞද්ධයන් බහුතරයක් වෙසෙන ශ්‍රී ලංකාවේ පාප් වහන්සේගේ සංචාරය කිරීම මගින් යම් පාර්ශවයකට අවාසියක් වනු විනා වාසියක් විය නොහැකි බවයි.

පාප් වහන්සේගේ සංචාරයට අදාළ ආරක්ෂක කටයුතු භාරව සිටින නිලධාරීන් එම සාකච්ඡාවේදී සිය වාර්තා ඉදිරිපත් කළ බව සඳහන් කළ රදගුරු හිමියෝ, සංචාරය සඳහා ඔවුන් දැනටමත් සූදානම් බව එහිදී පෙනී ගිය බවත් පවසති.

"සංචාරයේ සියලුම කටයුතු සම්බන්ධීකරණය කරන්නේ ආරක්ෂක ලේකම් තුමා," යනුවෙන්ද එහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.