ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රනිල් අපේක්ෂකයා බවට තීරණයක් නෑ - එජාප

එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ අපේක්ෂකයා තමන් බව රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයා කිසි විටෙක සඳහන් කොට නැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රීවරයා පවසයි.

විපක්ෂනායකවරයා, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සහ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මන්ත්‍රීවරයාගේ නමද පක්ෂයේ අපේක්ෂකයා ලෙසින් යෝජනා වී තිබෙන බව පවසන පක්ෂයේ සභාපතිවරයා, කෙසේ නමුත් අපේක්ෂකයා කවුරුන්ද යන්න තවමත් තීරණය කොට නැති බව අවධාරණය කළේය.

"අපේ අන්තිම තීරණය එක්සත් ජාතික පක්ෂයෙන් අපි දාන අපේක්ෂකයා පොදු අපේක්ෂකයා බවට පත්කරගෙන අනිත් පක්ෂ කීපයක් එක්ක එකතුවෙලා පොදු වේදිකාවක් හදන එක තමයි අපි අරමුණු කරගන්න බලාපොරොත්තු වෙන්නේ," යනුවෙන් ඔහු සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

මංගල සමරවීර

මේ අතර පක්ෂයේ නායකත්ව මණ්ඩල සාමාජික මංගල සමරවීර මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක්වීමට සූදානම් වෙමින් සිටින බවට පැතිරෙමින් තිබෙන 'කට කථා' තමන්ටද අසන්නට ලැබුන බව එජාප සභාපතිවරයා සංදේශය කළ විමසීමකදී පිළිගත්තේය.

එම කට කථා, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා නියෝජ්‍ය නායකත්වයට පත්කිරීමෙන් අනතුරුව පක්ෂය අභ්‍යන්තරයේ අර්බුදයක් හටගත් බව හුවා දැක්වීමට ඇතැමුන් දරන උත්සාහයක් ලෙසිනුයි කබීර් හෂීම් මන්ත්‍රීවරයා විග්‍රහ කරන්නේ.

කිසියම් ලෙසකින් සමරවීර මන්ත්‍රීවරයා පක්ෂයෙන් ඉවත්වීමට සූදානම් වන්නේ නම් එය වැළැක්වීම පක්ෂ නායකත්වයේ වගකීම බව පිළිගත් පක්ෂයේ සභාපතිවරයා, කෙසේ නමුත් එවැනි තත්වයක් මතු වී නොමැති බව අවධාරණය කරයි.

"එතුමා අපට වටිනා සම්පතක්. මට අදත් එතුමා හමුවුනා. ඉතින් මේ වගේ තත්වයක් අපිට නම් දැනට එහෙම කථා කරලා නෑ," බව පවසන කබීර් හෂීම් මන්ත්‍රීවරයා එවැනි තත්වයක් මතුවන්නේ නම් එය වැළැක්වීම පිණිස පක්ෂය විසින් අවශ්‍ය සියලු පියවර ගනු ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.