'මංගල යන්නේ නෑ'

ජාතික ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට හැකියාව ලැබෙන වගකීමක් පවරා දෙන මෙන් කළ ඉල්ලීමට එකඟත්වය පළ නොවීම හේතුවෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක් නොවීමට තීරණය කොට ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් බීබීසී සංදේශයට අනාවරණය වේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සාමාජික මංගල සමරවීර මන්ත්‍රීවරයා සඳුදා සවස් යාමයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ බව එම ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන්ම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරමින්, ජාතික ප්‍රශ්නයට විසඳුම් ලබාදීමේ වගකීම තමන්ට පවරා දෙන මෙන් සමරවීර මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

එම ඉල්ලීමට ජනාධිපතිවරයාගේ එකඟත්වය පළ වී නැති බවයි, සංදේශයට අනාවරණය වෙන්නේ.

මේ අතර සමරවීර මන්ත්‍රීවරයා පක්ෂය හැර යාමට සූදානම් වන බවට වාර්තා පළවීමත් සමඟම විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා සවස් යාමයේ ඔහු සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එළැඹෙන ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් නොවී, පොදු අපේක්ෂකයකුට සහාය දීමට ඉන් අනතුරුව පක්ෂයේ නායකයන් සමඟ පැවති සාකච්ඡාවකදී විපක්ෂනායකවරයා එකඟත්වය පළ කළ බව ජනමාධ්‍ය වාර්තා කරයි.

මංගල සමරවීර මන්ත්‍රීවරයා මේ වනවිට සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටී.