ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනපති පදවියට සුදුස්සා මහින්ද - හෙළ උරුමය

ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් වතාවක් බලයට පත්විය යුත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් අවශ්‍යතා හඳුනාගෙන එම අවශ්‍යතා ඉටු කළ හැකි නායකයකු ලෙසින් බව ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

"එතුමා 2009 ට පෙර ජනතා අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියා කළ නිසා තමයි යුග පුරුෂයෙක්, ජාතික වීරයෙක් බවට පත්වෙන්නේ," යනුවෙන් එහිමියෝ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළහ.

එහෙත් වර්තමානයේ ජනතා අවශ්‍යතා වෙනස් වී තිබෙන බව පෙන්වා දෙන එහිමියෝ එම අවශ්‍යතා හඳුනා ගෙන ඒ හා සමගාමීව ක්‍රියාකිරීමට ජනාධිපති රාජපක්ෂ නම්‍යශීලී විය යුතු බවත් සඳහන් කරති.

කෙසේ නමුත් විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ජාතික හෙළ උරුමය ඉදිරිපත් කොට තිබෙන යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ එකඟත්වය පළ නොකරන්නේ නම් එවිට "රටේ අවශ්‍යතාවය අනුව අවස්ථානුකූලව ගතයුතු ක්‍රියාමාර්ගයකට" එළඹීමට සිදු වනු ඇති බවද එහිමියෝ පැවසූහ.

පක්ෂය ඉල්ලා සිටින වෙනස සිදු වනු ඇතැයි තමන් වහන්සේ තුල "දැඩි බලාපොරොත්තුවක් තිබෙන" බවත් සෝභිත හිමියෝ සඳහන් කළහ.

ව්‍යවස්ථා සංශෝධනයකට නොගොස් හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියා කරන්නේ නම් ඔහු පරාජය කිරීමට හැකි සියල්ල කරන බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මීට සති කිහිපයකට ඉහත දී සඳහන් කළහ.