ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පක්ෂය තුලින්ම පක්ෂය පරාජය කිරීමේ 'කුමන්ත්‍රණයක්'

එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමේ කුමන්ත්‍රණයක් පක්ෂය තුලින්ම දියත් වී ඇති හැඩක් පෙනී යන බව පක්ෂයේ නියෝජ්‍ය නායක රවි කරුණානායක මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය.

මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා මේ වන විටත් තෝරා අවසන් බවට පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කළ ප්‍රකාශයට ප්‍රතිචාරය දක්වමින්.

තමන් ආණ්ඩුවට එක්වීමට සූදානම් වන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් රවි කරුණානායක මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේය.

"මේක මම හිතන්නේ 51 වෙනි ගමන ඔය වගේ ප්‍රකාශයක් කරලා තියෙන්නේ. හැමදාම මේ යවන්න හදන කට්ටියත් අපේ පක්ෂය ඇතුලෙත් ඉන්නවයි කියන එක තමයි දැන් ඉස්මතු වන්නේ," යනුවෙනුයි පක්ෂය හැර යන්නේද යන ප්‍රශ්නයට ඔහු ප්‍රතිචාරය පළ කළේ.

කාගේ අවශ්‍යතාවයටද?

"යම් අය මේ ජයග්‍රහණ කිරීමට වැඩිය පරාජය කිරීමෙන් තෘප්තියක් ලබන කට්ටියත් අපේ පක්ෂය ඇතුලේ ඉන්නවා," යනුවෙන්ද ඔහු සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේය.

Image copyright UNP
Image caption අපේ ජනපති අපේක්ෂක රනිල් - සජිත් ප්‍රේමදාස. අපේක්ෂකයා තෝරා ගෙන නෑ - කබීර් හෂීම්

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක් වනු වෙනුවට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබා ගැනීම පිණිස උපරිම උත්සාහයෙන් කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය තවමත් සිය ජනාධිපති අපේක්ෂකයා තෝරා ගෙන නොමැති බව පක්ෂයේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රීවරයා අඟහරුවාදා සංදේශය කළ විමසීමකදී කියා සිටි නමුත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ අපේක්ෂකයා ලෙසින් දැනටමත් තෝරා ගෙන අවසන් බවයි, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා බදාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ජාතික සේවක සංගම් නියෝජිතයන් අමතමින් කියා සිටියේ.

එහෙත් පක්ෂයේ නියෝජ්‍ය නායකයාගේ ප්‍රකාශය මගින් සිදු කරන්නේ "මහින්ද රාජපක්ෂගේ අවශ්‍යතාවය ඉටු කිරීමක්" දැයි රවි කරුණානායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

"මේ ප්‍රශ්නයක් ඇතිකරන්න හදන අයට කරුණාකරලා මේ පක්ෂය නැති කරන්න එපයි කියන එක විතරයි කියන්නේ," යනුවෙන් සඳහන් කළ මන්ත්‍රීවරයා, "සභාපතිතුමා කියපු දේ පක්ෂයේ නිල මතය වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සනාථ කරලා තියෙනවා," යනුවෙන්ද කියා සිටියේය.

මංගල සමරවීර මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක්වීමට සූදානම් වන බවට පළ වන වාර්තා පිළිබඳව විමසූ විට ඔහු කියා සිටියේ, පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් එක කණ්ඩායමක් ලෙසින් පක්ෂයේ ජයග්‍රහණය උදෙසා කටයුතු කරමින් සිටින බවයි.

මංගල සමරවීර මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක් නොවීමට තීරණය කොට ඇති බව මේ අතර ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් බීබීසී සංදේශයට අනාවරණය වේ.