චීනයේ ‘සබ්මැරීන්’ දේශපාලනය

Image copyright AFP

චීන සබ්මැරීන් යාත්‍රා දෙකක් පසුගිය ඔක්තෝබර් 31 වෙනි දින කොළඹ වරායට ලඟා වූ අතර එමගින් ඉන්දු- ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීය සබඳතා කෙරෙහි ඇති කළ හැකි බලපෑම සම්බන්ධයෙන් විචාරකයන්ගේ අවධානය යොමු වෙමින් පවතී.

‘චැන්ග්චෙන් - දෙක’(Changchen-2) නම් චීන සබ්මැරීනය ‘චැන් ග්ෂින්ග්ඩාඕ (Changxingdao) නම් තවත් සබ්මැරීනයක් ද සමඟ ඔක්තෝබර් 31 වෙනිදා කොළඹ වරායට සේන්දු වූ අතර නොවැම්බර් පස් වෙනි දිනයි කොළඹින් පිටත්ව ගියේ.

ඉන්ධන ලබා ගැනීම සහ කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා ගැනීමයි සංචාරයේ අරමුණ හැටියට ප්‍රකාශයට පත් කෙරුණේ. ශ්‍රී ලංකා නාවික හමුදාව කියා සිටියේ,එවැනි පිවිසීමක් සඳහා ඉන්දියාවේ අනුමැතිය අනවශ්‍ය බවයි.

‘ඉන්දීය අනුමැතිය අවශ්‍ය නැහැ’

චීන සබ්මැරීන් ශ්‍රී ලංකාවට ලඟා වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය ගැන විමසීමක් කළ විටආරක්ෂක තොරතුරු පිලිබඳ ‘ජේන් වීක්ලි’ බ්‍රිතාන්‍ය සඟරාවේ වාර්තාකරු රාහුල් බේඩි බීබීසියට කියා සිටියේ ඉන්දියානු බලධාරීන් ඒ ගැන කනස්සල්ල පළ කරන බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දියානු මැසිවිලි තේරුම් ගන්නා ශ්‍රී ලංකා බලධාරීන් නිරන්තරයෙන් ම ඉන්දියාවට කියා සිටියේ චීන සබ්මැරීන් යානා පැමිණීම සම්බන්ධයෙන් කනස්සල්ලට පත් නොවන ලෙසයි.

එම සහතික කරනු ලැබීම ඉන්දීය බලධාරීන් විසින් පිළිගනු ලැබ තිබේදැයි බීබීසිය රාහුල් බේඩිගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ‘ චීන සබ්මැරීන් ආගමනයට වඩා වැඩි දෙයක් එහි පවතින’බවයි.

‘ශ්‍රී ලංකාව පසුගිය කාලයේ ඉන්දියාවෙන් ඈත් වෙමින් චීනය සහ පකිස්තානය දෙසට ඇදී ගියා. සිවිල් යුද්ධය කාලයේ ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් අවි ආයුධ ඉල්ලුවා. නමුත් ඉන්දියාව එය ප්‍රතික්ෂේප කළා. ඉන්දියාවෙන් සැපයුණේ රේඩාර් වගේ දේවල්. ඒ තත්වය යටතේ ශ්‍රී ලංකාවට අවි සපයන ලද්දේ චීනය සහ පකිස්තානයයි’ රාහුල් බේඩි පවසයි.

චීනයේ මූලෝපාය

ඉන්දියාව පසුගිය අවධියේ ශ්‍රී ලංකාව තුළ පය ගසා ගැනීමට කළ උත්සාහය අසාර්ථක වූ අතර චීනය පොලී රහිත ණය සහ යටිතල පහසුකම් නංවා ලීමට ආධාර කිරීම මගින් ශ්‍රී ලංකාවට ලං වී ඇති බවයි රාහුල් බේඩි පෙන්වා දෙන්නේ.

මේ අතර චීනය නාවික මුහුදු මාර්ග තනා ගනිමින් ශ්‍රී ලංකාව, මාල දිවයින සහ මියන්මාරය වැනි රටවල් ඇතුළත් කර ගනිමින් ඉන්දියානු සාගර කලාපය තුළ බල කඳවුරක් තනා ගැනීමේ මූලෝපායී වැඩ පිළිවෙලක නිරත වීම සම්බන්ධයෙන් ඉන්දියාව කනස්සල්ලට පත් වෙන බවයි රාහුල් බේඩි ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දියානු බලධාරීන් අතර පසුගිය දා පැවැත්වුන සාකච්ඡා වලදී ඉන්දු- ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කර ගැනීමේ ඉලක්ක පිළිබඳව අදහස් හුවමාරු වූ අතර ඉන් අනතුරුව චීන සබ්මැරීන් යාත්‍රා කොළඹට ලඟා වීම හිතකර පියවරක් නොවන බවයි, ‘ජේන් වීක්ලි’ සඟරාවේ වාර්තාකරු රාහුල් බේඩි බීබීසියට වැඩිදුරටත් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර