'අධිකරණ උපදේශයට මැතිවරණ කොමසාරිස් බැඳි නැහැ'

Image caption නීතිවේදි ලාල් විජේනායක

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තුන් වන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය කවර තීන්දුවක් ලබා දුන්නත් එය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා හෝ වෙනත් කිසිදු පාර්ශවයක් බැඳී නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ නීතිවේදීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ කැඳවුම්කරු නීතිවේදි ලාල් විජේනායක මේ බව කියා සිටියේ තමන්ට තුන් වන වතාවටත් ජනාධිපතිවරණයට තරඟ කළ හැකි දැයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කර ඇති මත විමසුම පිළිබඳව සංදේශයට අදහස් දක්වමින්.

නීතිවේදි ලාලා විජේනායක පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) වගන්තියට අනුව ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගත හැක්කේ උපදේශයක් පමණක් බවයි.

'උපදේශයක් පමණයි'

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තියට අනුව යම් කරුණක් පිළිබඳව ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් ලබා ගන්න පුළුවන්. එවැනි අවස්ථාවක දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන්නේ උපදේශයක් පමණයි. එවැනි උපදේශයක් කිසිසේත් ම අධිකරණ නියෝගයක් වෙන්නේ නැහැ. එය කඩ කළා කියා උසාවියට අපහාසයක් වන්නේත් නැහැ. ඒ නිසා මෙවැනි උපදේශයක් පිළිපැදීමට මැතිවරණ කොමසාරිස්වරයා හෝ වෙනත් කිසිදු පාර්ශවයක් බැඳී නැහැ.’ නීතිවේදී ලාල් විජේනායක ප්‍රකාශ කළේය.

එහෙත් මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්නේ උපදෙසක් වුවත් ඒ අනුව කටයුතු කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් පවතින බවයි.

‘ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ලබා දෙන්නේ ජනාධිපතිවරයාටයි. ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. එසේ කටයුතු කරන අවස්ථාවක ඊට එකඟ නොවන පාර්ශවයක් වේ නම් ඔවුන්ට අභියාචනාධිකරණය හමුවට ගොස් රිට් ආඥාවක් ඉල්ලා අදාළ ක්‍රියාව නැවැත්වීමට කටයුතු කළ හැකියි.’ ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා කියා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කර ඇති මත විමසුම ප්‍රසිද්ධියේ විභාගයට ගතහොත් පමණක් තම සංගමය මැදිහත් වී කරුණු දැක්වීමට තීරණය කර ඇති බවයි ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ නීතිවේදීන්ගේ එකමුතුවේ කැඳවුම්කරු ලාල් විජේනායක පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර