‘පරිපාලන දිස්ත්‍රික්කය ආණ්ඩුවේ පොරොන්දුවක්’- මුස්ලිම් කොංග්‍රසය

අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව වාසය කරන මැතිවරණ කොට්ඨාශ වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ලෙස ස්ථාපිත කරන බවට රජය නැගෙනහිර පළාත් සභාව පිහිටුවීමේ දී තම පක්ෂයට පොරොන්දුවක් දුන් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් හසන් අලි මන්ත්‍රීවරයා එම අදහස පළ කළේ බිබිසී දෙමළ සේවය සමග අදහස් දක්වමින්.

මුස්ලිම් කොංග්‍රසයේ මෙම ඉල්ලීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ අතර අගමැති දි.මු. ජයරත්න ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ එම ඉල්ලීම රජය අනුමත නොකරන බවයි.

පාර්ලිමේන්තුවේ පසුගිය දා සිදු වූ කතාබහ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්වරයා පැවසුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉල්ලීම අළුත් එකක් නොවන බවයි.

‘නැගෙනහිර පළාත් සභාව පිහිටුවීමේ දී ආණ්ඩුව මිට එකඟ වුණා. හැබැයි දැන් මේක අපි අලුතින් කල ඉල්ලීමක් විදිහටත්, අපි රටෙන් කොටසක් ඉල්ලපු ආකාරයටත් විවිධ කතා කියනවා, අපි පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලන්නේ නැගෙනහිර ජනතාවගේ පරිපාලන ප්‍රශ්න විසඳන්නයි. භාෂා ප්‍රශ්න වගේ පරිපාලන ගැටලුවලට විසදුම් හොයන්නයි. එහෙම නැතිව වෙනම කලාපයක් හදන්න නොවෙයි’ යනුවෙන් හසන් අලි මන්ත්‍රීවරයා පවසයි.

බෙදුම්වාදයක් නොවෙයි.

නැගෙනහිර පළාත් සභාව පිහිටුවිමේ දී ආණ්ඩුව තම පක්ෂයට පොරොන්දු වූ කරුණු පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය විමසා පසුගිය සතියේ තම පක්ෂය ආණ්ඩුවට ලිපියක් යැවූ බව පවසන මන්ත්‍රීවරයා තවමත් ඒ සම්බන්ධයෙන් තමන්ට ආණ්ඩුවෙන් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි සඳහන් කළේ.

‘අගමැතිතුමා තුමා තමයි මේක කියල තියෙන්නේ, එතුමා කියනවනේ අපේ පක්ෂය පටන් ගත්තෙත් එයා කියලා. මම පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක්. මම නම් එහෙම දෙයක් දන්නේ නැහැ. මේක අපි බලෙන් ඉල්ලපු දෙයක් නෙවෙයි. ආණ්ඩුව අපට දෙනව කියල කියපු දෙයක්. ඉතින් දෙනවා කියපු දේ ගැන අහන්න ගියාම කියනවා, ‘බෙදුම්වාදීන්’ කියලා. ලංකාවේ දිස්ත්‍රික්ක විසි ගණනක් තියෙනවා. අපි කියන්නේ ජනතාවගේ පරිපාලනය පහසු කරන්න තව එකක් ඇති කරන්න කියලා විතරයි' ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්වරයා කියා සිටී.

නැගෙනහිර පළාත් සභාව පිහිටුවීමට ආණ්ඩුවට සහය දීමේ දී ආණ්ඩුව මෙයට එකඟතාව පළකළේ නම් දැන් එම ඉල්ලීම ඉටු නො කරන බව ඔවුන් පවසන නිසා නැගෙනහිර පළාත් සභාවෙ දී ආණ්ඩුවෙන් ඉවත්වනවාදැයි විමසූ විට මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්වරයා ප්‍රකාශ කළේ ඒ පිළිබඳ ව තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර