ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දියබත් ගම්වැසියෝ මහ පාරේ

හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන ජලයෙන් යට වීම නිසා පීඩාවට පත් ජනතාව අද සිකුරාදා (07) කොළඹ-හලාවත ප්‍රධාන මහාමාර්ගය අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

විරෝධතා ව්‍යාපාරයත් සමඟ එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය අඩාල වූ බවයි ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න වාර්තා කරන්නේ.

හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන කීපයක් ජලයෙන් යට වීම නිසා පවුල් පන්සීයක් පමණ දැඩි දුෂ්කර තත්වයකට පත් ව ඇත.

දින කීපයක් ඇද හැලුණ වර්ෂාවත් සමඟ පිරී ගිය කරවිට වැව, මුන්නේෂ්වරම වැව ඇතුළු ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙනුයි හලාවත මායික්කුලම, අලඹ ඇතුළු ගම්මාන ජලයෙන් යට වී තිබෙන්නේ.

මේ වන විට එම ගම්මාන වල ජීවත් වන පවුල් රැසක් නිවාස අතහැර ගොස් සිටිති.

එම තත්වය යටතේ අද සිකුරාදා කොළඹ-හලාවත ප්‍රධාන මහාමාර්ගයට එක්රැස් වූ ප්‍රදේශවාසීහු මහ පාරේ වාඩි ලා පැය තුනක පමණ කාලයක් ඔවුන්ගේ විරෝධය පළ කළහ.

බලධාරීන් නිහඬයි

තම නිවාස ජලයෙන් යට වී ඇතත් එම ජලය බැස යාමට අවශ්‍ය පියවර බලධාරීන් විසින් තවමත් ගනු ලැබ නැති බවයි විරෝධතාවාදීන් කියා සිටින්නේ.

ගම්මාන ජලයෙන් යට වීමට බලපා ඇති ප්‍රධාන හේතුව ජලය බැස යෑම සඳහා වූ මාර්ග අවහිර වීම බව හලාවත ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් ප්‍රේමලාල් පවසයි.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් දැනුවත් කළත් ඉන් පලක් නොවූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන්ට අවශ්‍ය කරන්නේ තාවකාලික සහනාධාර නොවන බව අවධාරණය කරන ගම්වැසියන් කියා සිටින්නේ ජලය බැස යාමේ ස්ථිර වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවන ලෙසයි.