පොදු අපේක්ෂකයෙක් ගැන 'එකඟත්වයක්'

Image copyright newsfrist.lk
Image caption 'ඉදිරි දින කිහිපයේදී ගොඩක් වෙනස්කම් සිදුවේවි. අපි කියන්නේ පොදු ප්‍රතිපත්තියක්, පොදු අපේක්ෂකයෙක්, පොදු ලකුණක් හා පොදු පාටක්'

ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳව එකඟතාවයකට පැමිණීමට හැකි වූ බව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

ජනපතිවරණයට පොදු ලකුණක් යටතේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කෝට්ටේ නාග විහාරයේදී පැවැත්වුණු විශේෂ සාකච්ඡාවේදී තීරණය කෙරුණු බව මාදුළුවාවේ සෝභිත හිමියෝ සාකච්ඡාවෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූහ.

"ඉදිරි දින කිහිපයේදී ගොඩක් වෙනස්කම් සිදුවේවි. ලබන සඳුදා සියළු පක්ෂ සමඟ අපි මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා," යනුවෙන් සෝභිත හිමියෝ පැවසූහ.

දේශපාලන පක්ෂවල විවිධ න්‍යාය පත්‍ර තිබුනත් ඒවා පසෙකලා සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ජයග්‍රහණය කිරීමට ඔවුන් එකඟ වී ඇති බවද එහිමියෝ සඳහන් කළහ.

"ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරාම කවුද අපේක්ෂකයා කියලා අපි කියන්නම්. අපි කියන්නේ පොදු ප්‍රතිපත්තියක්, පොදු අපේක්ෂකයෙක්, පොදු ලකුණක් හා පොදු පාටක් එච්චරයි."

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ පසුගිය දින කිහිපය තුළ සාකච්ඡා පැවැත්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, සිකුරාදා උදෑසන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ ජාතික හෙළ උරුමය සමඟද සාකච්ඡාවක් පවත්වා තිබේ.

කරු ජයසූරිය?

එම සාකච්ඡා පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි, එම සාකච්ඡාවල ප්‍රගතිය අනුව සියළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකමුතුව ලබන සඳුදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය වූ බවයි.

Image caption පොදු අපේක්ෂකයා ලෙස කරු ජයසුරිය මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන මෙන් විපක්ෂයේ පක්ෂ කිහිපයක්ම සිකුරාදා රැස්වීමේදී ඉල්ලා තිබේ

"සම්පූර්ණ එකඟතාවයක් තවම නැහැ. නමුත් සති දෙකකට පෙර තත්වයට වඩා දැන් තත්වය වෙනස් වෙලා තියෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේය.

"සති දෙකකට පෙර එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ස්ථිර ලෙස අදහස් ප්‍රකාශයට පත් වී තිබුණා. නමුත් පසුගිය දින දෙකේදී පැවති සාකච්ඡාවලදී එහි යම් නම්‍යශීලීත්වයක් ඇති බව අපිට දක්නට ලැබුනා," යනුවෙන්ද ඔහු පැවසුවේය.

පොදු අපේක්ෂකයකුට සහය පළකරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

පොදු අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන මෙන් විපක්ෂයේ පක්ෂ කිහිපයක්ම සිකුරාදා පැවති සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සාකච්ඡාවේදී යෝජනා කර ඇති බවද සංදේශයට වාර්තා වේ.

කරු ජයසූරීය මන්ත්‍රීවරයාට විපක්ෂයේ සියළු පක්ෂවල සහාය ලබාගත හැකි බවයි, ඔවුන්ගේ මතය වී තිබෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර