පරීක්ෂණය ගැන තොරතුරු ආණ්ඩුව 'විකෘති කරනවා'

Image copyright AFP
Image caption 'තොරතුරු විකෘති කිරීමේ සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ ව්‍යාපාරය පරීක්ෂණය අනුමත කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය අවඥාවට ලක් කිරීමක්'

ශ්‍රී ලංකාවේ සිදු වූ බව පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවත්වන පරීක්ෂණයේ අවංකභාවය ප්‍රශ්න කරමින් දිගින් දිගටම එයට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරයි.

මානව හිමිකම් ක්‍රියාධරයන් සහ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයට සහාය දෙන පුද්ගලයන් 'බියගැන්වීමේ' ක්‍රියාදාමය දැඩිව හෙලා දකින බවත් මානව හිමිකම් සම්බන්ධ නව මහ කොමසාරිස් සයීඩ් රාඩ් අල් හුසේන් කුමරු සිය නිවේදනයේ සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ පරීක්ෂණය සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුවන "තොරතුරු විකෘති කිරීමේ සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ ව්‍යාපාරය" මෙන්ම එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටුවට සාක්ෂි දීමට ඉදිරිපත් වන පුද්ගලයන් වැළැක්වීමට දැරෙන උත්සාහය එම පරීක්ෂණය අනුමත කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය "අවඥාවට ලක් කිරීමක්" බවත් මහ කොමසාරිස්වරයාගේ නිවේදනයේ සඳහන්.

මානව හිමිකම් මණ්ඩලයේ විශේෂ ඉල්ලීම පවා නොතකා හරිමින් පරීක්ෂණයට සහාය දීම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙන බව පවසන මහ කොමසාරිස් සයීඩ් රාඩ් අල් හුසේන්, කෙසේ නමුත් එමගින් පරීක්ෂණයේ අව්‍යාජභාවයට කිසිදු බලපෑමක් නොවන බව අවධාරණය කරයි.

'භීෂණයේ පවුරක්'

"ඒ වෙනුවට එමගින් සිදුවන්නේ අදාළ ආණ්ඩුවේ අව්‍යාජභාවය පිළිබඳව ප්‍රශ්න මතුවීම," බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

"කිසිවක් සැඟවීමට නැති ආණ්ඩු ස්වාධීන, අන්තර්ජාතික පරීක්ෂණයක කටයුතුවලට බාධා කිරීමට අසාමාන්‍ය ලෙසින් මෙතරම් උත්සාහ කරන්නේ ඇයි?" යනුවෙන්ද මහ කොමසාරිස්වරයා ප්‍රශ්න කරයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තබා තිබෙන ඕනෑම සාමාජික රටක එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක් ඉදිරියේ සාක්ෂිදීමට ඉදිරිපත් වන පුද්ගලයන් එයින් වැළැක්වීම හෝ බියගැන්වීම "කිසිසේත්ම පිළිගත නොහැකි" බව මහ කොමසාරිස්වරයා අවධාරණය කරයි.

ජනතාව සාක්ෂිදීම වැළැක්වීම පිණිස "භීෂණයේ පවුරක්" නිර්මාණය කොට තිබෙන බවත් නිවේදනයේ සඳහන්.

එක්සත් ජාතීන්ගේ පරීක්ෂණය "වෘත්තීය මට්ටමේ නොපවතින" බවට සහ "පක්ෂග්‍රාහී" බවට මේ සතිය මුලදී ආණ්ඩුව විසින් කරන ලද "අසත්‍ය සහ පදනම් විරහිත" චෝදනාව දැඩිව බැහැර කරන බවත් මහ කොමසාරිස්වරයා පවසයි.

සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබුණු කාල සීමාව පසුගිය ඔක්තෝබර් 30 වැනි දින නිමාවට පත් වූ බව සනාථ කළ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටුව, ඒ වෙනුවෙන් ලබා දී තිබුණු ඊමේල් ලිපිනය දැන් ක්‍රියාවිරහිත කොට තිබෙන බවත් සඳහන් කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර