චන්ද්‍රිකා, කරු 'මහින්දට අභියෝගයක් නොවේ'

Image caption හිටපු ජනාධිපතිනියට එක්සත් ජාතික පක්ෂයේ ග්‍රාමීය කොටස්වල සහාය ලැබෙනු නැති බව කුසල් පෙරේරා ගේ මතයයි

විරුද්ධ පක්ෂ සන්ධානයේ පොදු අපේක්ෂකයන් ලෙසින් ඉදිරියෙන්ම සිටින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය හෝ කරු ජයසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂට ප්‍රබල අභියෝගයක් වනු නැති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසයි.

විශේෂයෙන්ම හිටපු ජනාධිපතිනියට ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ගේ සහාය ලැබෙනු නැති බව ඔහු බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

එමෙන්ම කරු ජයසූරීය මන්ත්‍රීවරයා පොදු අපේක්ෂකයා බවට පත්වුවහොත් ඔහු විසින් දියත් කරනු ඇත්තේ 'සිංහලවාදී මැතිවරණ ව්‍යාපාරයක්' බව දේශපාලන විශ්ලේෂකයකුද වන මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසයි.

"අනෙක් කාරණය තමයි, මේ කියන ඔක්කොම සිංහල දකුණට පොදු අපේක්ෂකයෝ. රටට පොදු අපේක්ෂකයෝ නෙවෙයි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ න්‍යායපත්‍රය දැඩි විවේචනයට ලක් කරන කුසල් පෙරේරා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට රටේ යලිත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ සියලු ප්‍රශ්නවලට විසඳුම නොවන බව අවධාරණය කරයි.

රටේ දැවෙන ප්‍රශ්නවලට අවශ්‍ය විසඳුම් සෙවීම පිණිස පුළුල් කතිකාවතක අවශ්‍යතාවය අවධාරණය කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසන්නේ විපක්ෂ සන්ධානය විසින් ඒ කතිකාවත සඳහා වූ අවකාශය අහුරා දමනු ලැබ තිබෙන බවයි.