ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"පොදු විපක්ෂය බිහිවේ"

පුද්ගලයා ජයග්‍රහණය කිරීමට නොව ප්‍රතිපත්තිය ජයග්‍රහණය කිරීම සඳහා සියළු දෙනාට පිළිගත හැකි සෑම දෙනාටම විශ්වාසය තැබිය හැකි පොදු අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව මාදුළුවාවේ සොබිත හිමියන් පවසයි, උන් වහන්සේ මෙම අදහස් පළ කලේ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

මෙම මාධ්‍ය හමුව සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග ඇතුළු පක්ෂ ගණනාවක නායකයන් හා සිවිල් සමාජ සංවිධානය නියෝජිතයන් එක්ව සිටියහ.

විධායක ජනාධිපතිකම අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරීමේ මෙම වැඩපිළිවෙලට එක් වන ලෙස පක්ෂ විපක්ෂ සියළු දෙනාට විවෘත ආරාධනාවක් කළ සොබිත හිමියන් ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ද ඉල්ලා සිටියේ මෙම වැඩපිළිවෙලට එකඟ වෙන ලෙසයි.

මෙම වැඩපිළිවෙලට එක්සත් ජාතික පක්ෂයේ සහය හිමි වන බව පැවසූ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරණය නිදහස්ව හා සාධාරණව පවත්වා ගැනීමටද විපක්ෂය සටන් කළ යුතු බවයි මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ.

චන්ද්‍රිකාගේ සහයත් හිමිවේ

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ඉදිරිපත් කෙරුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා ලබන බදාදා කොළඹදී පැවැත්වෙන දැවැන්ත රැළියටද විපක්ෂයේ පක්ෂ එක් වන බවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසුවේ.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විශේෂ පණිවුඩයක් එවමින් මෙම පොදු වැඩපිළිවෙලට ඇයගේ සහායද පිරිනැමීම විශේෂත්වයකි.

නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම, මුලික මිනිස් අයිතිවාසිකම් බිඳ වැටීම මෙන්ම අධිකරණයේ, පොලිස් හා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය බිඳ වැටීමට ඉමහත් බලතල ඇති මෙම විධායක ජනාධිපති ධූරය හේතුවී ඇති බවයි ඇය එම පණිවිඩයෙන් සදහන් කරන්නේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම බලතල යොදා ගන්නා ආකාරයෙන් මෙම තත්වය තවත් උග්‍රවී ඇති බවද අගේ පණිවිඩයේ සදහන්.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ එක්ව නොසිටි නමුත් ලබන බදාදා පැවැත්වෙන රැළියට ඔවුන් එක් වන බවයි වාර්තා වෙන්නේ.